දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව විරෝධතාවක යෙදෙමින් සිටින බව ජනපති මාධ්‍ය අංශය කියයි. ඔවුන් ජනාධිපතිවරයා හමු වී සංදේශයක් භාර දීමට පැමිණ ඇති බව සඳහන් කළත්
අද (24) ජනපතිවරයා හමුවීමට පැමිණෙන බවට කිසිඳු පෙර දැනුම් දීමක් සිදුකර නොමැති බවද මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ජනාධිපතිවරයා අද පෙරවරුවේ මීට පෙර යොදාගත් වැඩසටහනක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් දෙමළ සන්ධාන මන්ත්‍රී පිරිසට අග්‍රාමාත්‍යවරයා හමුවීමට වේලාවක් ලබාදී තිබුණත් ඔවුහු එම හමුවීමට නොගොස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටින බවද ජනපති මාධ්‍ය අංශය කියයි.
ජනාධිපතිතුමා සිය කාර්යාලයේ නොමැති අවස්ථාවක පෙර දැනුම් දීමකින් ද තොරව පැමිණ මෙලෙස විරෝධතාවක නිරත වීම ජිනීවා මානව හිමිකම් සමුළුවට රජය කෙරෙහි වැරදි අවබෝධයක් ලබා දීමට සැලසුම්සහගතව කෙරෙන කුමන්ත්‍රණයක් බව පැහැදිලි වන්නේ යැයිද ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.