ඉන්ධන සැපයීමේ දී QR කේත ක්‍රමය පරීක්ෂා කිරීමේ කටයුතුවලින් අද (15දා) සිට සියළුම සංවර්ධන නිලධාරීන් ඉවත්වීමට සංවර්ධන සේවා නිලධාරීන්ගේ සංගමය දන්වා දෙයි.
බලශක්ති අමාත්‍යාංශය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර තිබූ චක්‍රලේඛය අනුව ඉන්ධන පිරවුම්හල්වල අදාළ රථ වාහන කාණ්ඩ සඳහා හිමි ඉන්ධන ලබාදීමේ QR ක්‍රමවේදය පරීක්ෂා කිරීම හා අධීක්ෂණ කටයුතු සඳහා සංවර්ධන නිලධාරීන් යොදවා තිබුණි.
අදාළ චක්‍රලේඛය අනුව සංවර්ධන නිලධාරීන් ඉන්ධන පිරවුම්හල් වෙත අදාළ කාර්ය සඳහා යෙදවීමේ දී මතුවිය හැකි ගැටළු පිළිබඳවත්, එම ගැටළු නිරාකරණය කරගනිමින් අදාළ කාර්යේ යොදවන ලෙසත් තම සංගමය 2022.08.01 දින විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලිඛිතව දැනුවත් කර තිබිය දී ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකිරීම පිළිබඳව තම කණගාටුවත් දැඩි විරෝධතාවයත් සඳහන් කරන බව එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
2022 අගොස්තු 10 දින වැල්ලවාය - මොණරාගල පාරේ IOC ඉන්ධන පිරවුම්හලේ දී සංවිධානාත්මක මැර කණ්ඩායමක් විසින් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකුට හා 2022 අගෝස්තු 12 දින ගම්පහ මීරිගම බාදුරාගොඩ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ දී අදාළ අධීක්ෂණ කටයුතු සිදු කරමින් සිටි මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියකට ආණ්ඩුවට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලන මැරයෙකු විසින් පහරදී ඇතැයි එම සංගමය පවසයි.
එම නිලධාරීන් පහරකෑමට හා ජීවිත අවධානමට ලක්වූයේ ආණ්ඩුව විසින් ගනු ලැබූ තීරණයකට අනුව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් පැවරූ රාජකාරී ඉටු කරමින් සිටින අවස්ථාවේ දී බවත් එම තීරණ ගනු ලැබූ ආණ්ඩුවේ විෂයභාර ඇමතිවරයා හෝ තීන්දු ක්‍රියාත්මක කිරීමට නියෝග දුන් ආයතන ප්‍රධානීන් හෝ ඉහත සිදුවීම සම්බන්ධයෙන් කිසිදු සාධාරණ පියවරක් ගැනීමක් හෝ රජයේ නිලධාරියා වෙනුවෙන් ඉදිරිපත් නොවීම බරපතල තත්වයක් බවත් එම සංගමය අවධාරණය කරයි.
සංවර්ධන නිලධාරීන්ට වෘත්තීමය වශයෙන් ඉන්ධන පිරවුම්හල්වල වෙළඳ හා පාරිභෝගික කටයුතු වෙනුවෙන් මැදිහත්වීමේ කිසිදු වෘත්තීමය අදාළකමක් නොවුව ද ජනතාව පත්ව සිටි අපහසුතාවය මගහැරවීමට සහයෝගයක් ලබාදීමේ පදනමින් මැදිහත් වුවද මුහුණ දීමට සිදුව ඇති ගැටළු පිළිබඳ සේවාවක් ලෙස තම සංගමය විශේෂ අවධානයක් යොමු කරන ලද බවද ඔවුන් පවසයි.
ඒ අනුව 2022 අගෝස්තු 15 සිට ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කිරීමේ අධීක්ෂණ ක්‍රියාවලියෙන් සංවර්ධන නිලධාරීන් 2022.08.15 දින සිට රට පුරාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්වන බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.