වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිල දී ගන්නා ලද වී සහල් කර වෙළෙඳ පොලට සැපයීමේ වැඩ සටහන වහාම අරඹන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතාහට උපදෙස් දුන්නේය.
PMB Rice වෙළඳනාමය යටතේ වෙළෙඳ පොළට නිකුත් කෙරෙන මෙම සහල් පාලන මිලට වඩා අඩුවෙන් අවම මිලක් යටතේ මහජනතාව වෙත බෙදා හැරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් නිෂ්පාදනය කර බෙදා හරින PMB Rice ලබන සතියේ කොළඹ නගරයේ ජනතාව සඳහා අලෙවි කිරීමට සැලසුම් කර ඇත.
කිලෝ ග්‍රෑම් 05 සහ 10 පැකට් වශයෙන් මෙම සහල් තොග බෙදා හරින අතර ඒවා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ලොරි රථවලින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක දී අලෙවි කිරීමට කටයුතු යොදා ඇත. පළමු තොගය වශයෙන් සහල් පැකට් ලක්ෂ දෙකක් කොළඹ නගරය තුළ අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර තිබේ.
ඊයේ (20දා) මෙම කාරණයට අදාලව පැවැති සාකච්ඡාවක දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල ජනතාවගේ සහල් අවශ්‍යතාවය විසඳීම මෙන්ම වෙළෙඳපොළේ සහල් මිල ගණන් පාලනය සඳහා වී අලෙවි මණ්ඩලයේ යම් දායකත්වයක් ලබා දීමේ අරමුණින් මෙම වැඩ පිළීවෙළ අරඹන බවත්, ලබන මාස් කන්නයෙන් පසු අඛණ්ඩවම රට පුරා PMB Rice වෙළඳනාමය යටතේ සහල් සතොස සුපිරි වෙළඳසැල් ජාලය හා අනිකුත් සුපිරි වෙළෙඳ සැල් මගින් බෙදා හැරීමට කටයුතු යොදන බවත් සඳහන් කළේය.