'IMF මපට්ලා' මේ රට රැගෙන යන්නේ 80 සිට පස් වතාවක් ආර්ථිකය බංකොලොත් වූ ආජන්ටිනාව ගිය පාරේ බවත් අලි- පොහොට්ටු ආණ්ඩුව දිනෙන් දින ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය හීන කරන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසිය. මීට එරෙහිව විපක්ෂයේ පුළුල් සටන් පෙරමුණක් ගොඩනැගීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.
අද (01) බොරැල්ල පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
"දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා, 'ණය ප්රතිවහ්යුහගත කරන්න' කියලා. IMF එක කියපු විදියට ලෝකයේ ඇතැම් රටක් තමන් ගත් ණය මුදල් ප්රතිවහ්යුහගත කරගත්තා. ඒ ඔවුන් ISB ණය අරන් නොතිබුණු නිසා. නමුත් පිළිගත හැකි අයිතිකාරයෙක් නැති, විවිධ රටවල අරමුදල් මගින් ගොඩනැගුණු ISB ණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත ලබාගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම පසුගිය කාලයේදී කටයුතු කරනු ලැබුවා. මේ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන සිටින IMF එක දැන් රටේ ලොක්කන්ට බිලියන 2.9ක කැරට් අලයක් පෙන්වමින් ඉන්නවා.අපේ අයත් ඒ කැරට් අලය කටට වැටෙනකල් කට ඇරන් බලාගෙන ඉන්නවා.
1980 වසරේදී ආජන්ටිනාවත් වැඩ කළේ ඔය IMF එක කියපු විදියටයි..අවසානයේදී ආජන්ටිනාවේ ආර්ථිකයට මොකද වුණේ? 1980 සිට මේ වන තුරු ඔවුන්ගේ ආර්ථිකය පස් වතාවක් බංකොලොත් වුණා. එදා මෙදා තුර ආජන්ටිනාවේ ආණ්ඩු මාරු වුණාට ආර්ථිකය නිවැරදි දිශානතියකට හරවාගන්න ඔවුන්ට තවමත් නොහැකි වෙලා තිබෙනවා. දැන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ද යමින් තිබෙන්නේ 1980 වසරේදී ආජන්ටිනාවේ ආර්ථිකය බිඳවැටුණු ආකාරයේ මාර්ගයක බව පැහැදිලියි.
මේ ආර්ථික අර්බුදයට ආණ්ඩුව සද්භාවයෙන් මුහුණ දෙන්න නම් පළමුව කළ යුතු වන්නේ විදේශ විනිමය පනත සංශෝධනය කිරීමයි. පෙර පනතේ තිබුණු වැදගත් කරුණු ඉවත් කරලා රටට හිමිවෙන්න තිබු ඩොලර් අහිමි කරලා, රටේ ආර්ථිකය බංකොලොත් වෙන්න ඉඩ දුන්නේ ඔය රනිල් වික්රමසිංහලාමයි. විදේශ විනිමය පනත රටට හිතවාදිව සංශෝධනය කළ යුතුයි, කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුප් ලබන වත්මන් මහ බැංකු අධිපතිවරයා තවමත් ප්‍රකාශයක් කරලා නැහැ. ඒ අනුව අපට පැහැදිලිව පෙනෙනවා..IMF ඉත්තන්ට රටේ ආර්ථිකය හා දේශපාලනය මෙහෙයවන වගකීම් පවරලා මේ රට ආර්ථිකමය වශයෙන් ගොඩදාන්න බැරි බව.
ඒ විතරක් නොවෙයි මේ නිර්ලජ්ජිත පාලකයෝ, මහජන විරෝධය හමුවේ හකුළා ගත් MCC ගිවිසුම දැන් වෙනත් නමකින් ගෙන්න හදන බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම ඉන්දියාව සමග අත්සන් කරන්නට හදපු එට්කා ගිවිසුමට ද නැවත පණ පොවන්නයි මේ අය දත කන්නේ.
මේ ආර්ථික අර්බුදය පාවිච්චි කරලා මේ 'IMF මපට්ලා' මේ රට රැගෙන යන්නේ 80 සිට පස් වතාවක් ආර්ථිකය බංකොලොත් වූ ආජන්ටිනාව ගිය පාරේයි. අලි- පොහොට්ටු ආණ්ඩුව දිනෙන් දින ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය හීන කරනවා. මීට එරෙහිව විපක්ෂයේ පුළුල් සටන් පෙරමුණක් ගොඩනැගීමට උත්තර ලංකා සභාගය සූදානම්. මේ දිනවල අපි ඒ පිළිබඳ පාර්ශ්ව ගණනාවක් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ජනතාව දැනුමිවත් කරන විරෝධතා රැලියකින් එම සටන කොළඹින් අරඹනවා"