රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කොට යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් අත්පත් කර ගැනීමට නම් ණය තිරසරභාවය පිළිබඳ විධිමත් සැලැස්මක් ඉදිරිපත් කළයුතුව තිබුණි. පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවරත්වය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු නොකරන බවට වූ පසුගිය රජයේ දේශපාලන ප්‍රතිපත්තිය හේතුවෙන් එය අඩාල විය.
මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පූර්ණ දේශපාලන ස්ථාවරත්වයක් සහිත රජයක් ස්ථාපනය කර තිබේ. එමෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුකරණයක් සඳහා වන දේශපාලන සාකච්ඡා ද ඉතා සාර්ථක මට්ටමක පවතින බව එම නිවේදනයේ දැක්වෙයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්නා සාකච්ඡා සාර්ථකව අවසන් කොට මූල්‍ය ස්ථායීතාව ඇතිකිරීම සඳහා අවශ්‍ය පළමු පියවර තැබිය හැකි බව රජයේ ස්ථාවරයයි.