ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය, අප්‍රේල් 08 සිකුරාදා පැවැත්වීමට අද (01දා) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය කෙරුණු බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එදින පෙරවරුවේ සිට රාත්‍රි 8.00 දක්වා විවාදය පැවැත්වෙනු ඇත.
මීට අමතරව 2022.04.05 වන අඟහරුවාදා, වෛද්‍ය ආඥාපනත යටතේ නියෝග සහ ක්‍රීඩාවල යෙදීමේ දී තහනම් උත්තේජක ද්‍රව්‍ය භාවිතයට එරෙහි සම්මුති පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2022.04.06 බදාදා, මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ නියෝග ඉදිරිපත් කෙරෙන අතර 2022.04.07 වන බ්‍රහස්පතින්දා අධිභාර පනත් කෙටුම්පත මෙන්ම වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියමයන් දෙකක් අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01දා) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට, සභානායක දිනේෂ් ගුණවර්ධන , ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග, ජී.එල්. පීරිස්, චමල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක , රන්ජිත් මද්දුම බණ්ඩාර, එම්.ඒ.සුමන්දිරන් යන මන්ත්‍රීවරු එක්ව සිටියහ.