කිසිඳු නඩත්තුවක් නොමැතිව අතහැර දමා තිබුණු පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) උපදෙසින් පූර්ණ පිළිසකර කිරීමෙන් පසු හෙට (07) දින යළි ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
2015 න් පසු භාවිතා කිරීම ක්‍රමානුකූලව අතහැර දමන ලද පාවෙන වෙළඳ සංකීර්ණය අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණය කර යළි ජනතා අයිතියට පත් කෙරෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම අනුවයි.
පාවෙන වෙළඳ සංකීර්ණය සහ අවට ප්‍රදේශය යළි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා රජය වැය කරන ලද මුදල රුපියල් මිලියන 35 කි.
වර්තමාන ජනාධිපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව ඉදිකෙරුණු කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කළේ 2014 වර්ෂයේ අගෝස්තු 25 වනදාය.
පසුගිය රජය කලෙයේදී අතහැර දැමූ පාවෙන වෙළඳ සංකීර්ණයේ තිබූ 103 ක් වූ වෙළඳසැල් ප්‍රමාණයෙන් 80% ක් වූ වෙළඳසැල් ප්‍රමාණයක් එම රජය කාලයේ වැසීයාමට ලක්ව තිබිණ.
රුපියල් මිලියන 312 ක් වැය කරමින්, ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ පාවෙන වෙළඳ සංකීර්ණය සඳහා වියදම් වූ මුදලින් 50% ක මුදල වසර 05 කින් ලබා ගැනීමට සකස් කළ වැඩ පිළිවෙළට මේ තත්වය මත බාධා පැමිණුනි.
ප්‍රතිසංස්කරණ කටයුතුවලට අදාළව නව ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේ දී කුඩා උද්‍යානයක් ඉදිකිරීම, ජලය පිරිසිදු කිරීම සඳහා ජල උපාංග පද්ධතියක් සවි කිරීම, පදිකයින් සඳහා පාලමක් ඉදිකිරීම, ඩී.ආර්. විජේවර්ධන මාවත සහ පාවෙන වෙළඳ සංකීර්ණය පදික මාරුවක් මඟින් සම්බන්ධ කිරීම යන කාරණා ද ඇතුළත් වන පරිදි මෙම සංවර්ධන කටයුතු තවදුරටත් දියත් කිරීමට නියමිතව තිබේ.
මීට අමතරව බේරේ වැවේ ජලය පිරිසිදු කිරීමට යන්ත්‍රයක් හඳුන්වාදීම, පාවෙන වෙළඳ සංකීර්ණයේ සිට ඩී.ආර්. විජේවර්ධන මාවත හා නවම් මාවත අවට ප්‍රදේශවලට බෝට්ටු සේවාවක් ඇති කිරීම යන කාරණා ද යෝජනා මඟින් ඉදිරිපත් කර තිබේ.
පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කිරීමෙන් පසු නිරන්තරව අලුත්වැඩියා කටයුතු සිදුකිරීම, ව්‍යාපාර හා ප්‍රවර්ධන කටයුතු පවත්වාගෙන යාම සඳහා සහ ජනතාවට විවිධ වැඩසටහන් වසර පුරා පැවැත්වීම සඳහා ක්‍රමවේද සැකසීම ඇතුළු කාරණා ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.