FBC සහ ඩෙංගු පරීක්ෂණ සඳහා උපරිම ගාස්තු මෙන්න
යාපනයේ පෞද්ගලික රෝහලක් විසින් Full Blood Count (FBC) රුධිර පරීක්ෂාව සඳහා නියමිත උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කිරීම සම්බන්ධයෙන් පළ කළ පුවතෙන් අනතුරුව, එම උපරිම ගාස්තු නියම කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව පාරිභෝගිකයින් රැසක් විමසීම් කර තිබේ.
ඒ අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වගන්තිය යටතේ නිකුත් කළ අංක 67 දරන නියෝගය මගින් පහත රසායනාගාර පරීක්ෂණ සඳහා අය කළ හැකි උපරිම ගාස්තු නියම කර ඇත.
පූර්ණ රුධිර ගණන පරීක්ෂණය — Full Blood Count (FBC) Test - එක් පරීක්ෂණයක් සහ වාර්තාවක් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව: රු. 400/-
ඩෙංගු සඳහා වන NS1 ප්‍රතිදේහජනක පරීක්ෂණය — NS1 Antigen Test for Dengue - එක් පරීක්ෂණයක් සහ වාර්තාවක් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව: රු. 1,200/-
මෙම නියෝගය 2020 ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන අතර, එය 2020 ජූලි 29 දිනැති අංක 2186/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.
පෞද්ගලික රෝහලකින් හෝ වෛද්‍ය රසායනාගාරයකින් මෙම පරීක්ෂණ සිදුකර ගැනීමේදී නියමිත උපරිම ගාස්තුව පිළිබඳ විමසිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගෙවන මුදල සඳහා සෑමවිටම නිවැරදි බිල්පතක් හෝ රිසිට්පතක් ඉල්ලා සිටින ලෙසත් උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කරන්නේ නම්, අදාළ බිල්පත සහ අනෙකුත් සාක්ෂි සමඟ කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කරන ලෙසත් එම අධිකාරිය ජනතාවට දන්වා සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
