75 වැනි නිදහස් සැමරුම අඩු පිරිවැයකිින්
• නිදහස් දිනට සමගාමීව අඩු ආදායම්ලාභීන්ට නිවාස 1996ක්
• විශේෂ ආරාධිතයින් ලෙස සාර්ක් රටවල විදේශ අමාත්‍යවරුන්ටත් ආරාධනා
• අභිමානය විදහා දැක්වීමට සංස්කෘතිකාංග රැසක්
පවතින ආර්ථික තත්ත්වය හමුවේ වූව ද 75 වන නිදහස් දින උත්සවය සුවිශේෂී සංධිස්ථානයක් කරගනිමින් අඩු පිරිවැයකින් අභිමානවත් අයුරින් සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
75 වන නිදහස් දින සමරු උළෙල සංවිධාන කමිටු පළමු රැස්වීම පෙරේදා (07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අවස්ථාවේ දී මෙම උපදෙස් ලබා දුන්නේය.
විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විතව ඉතා විචිත්‍රවත් අයුරින් 75 වන ජාතික නිදහස් දින උළෙල කොළඹ, ගාලුමුවදොර දී පෙබරවාරි 04 වන දින සවස් කාලයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ පෙළපාළි සහ උත්තමාචාරවලට අමතරව ශ්‍රී ලාංකේය අභිමානය විදහා දැක්වෙන සංස්කෘතිකාංග හා යෞවනයට ගැළපෙන කලා අංග ඊට එක් කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පළාත් 09 නියෝජනය වන පරිදි සංස්කෘතික කලා හා ආගමික වැඩසටහන් එම පළාත්වල දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් පැවැත්වීමටත්, පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් පාසල් දරුවන් මූලික කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විවිධ තරග කිහිපයක් සංවිධානය කිරීමට හා තරුණ තරුණියන්ගේ සෞන්දර්යාත්මක රසවින්දය වෙනුවෙන් කලා හා සංගීත වැඩසටහන් පළාත් මට්ටමින් පැවැත්වීමටත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි තීරණය කෙරිණි. මේ සෑම වැඩසටහනක්ම මහජනතාවට සහභාගී විය හැකි සහ රසවිඳිය හැකි අයුරින් අර්ථවත්ව සංවිධානය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමේ අපේක්ෂාවෙන් නිදහස් උළෙළේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සාර්ක් රටවල විදේශ අමාත්‍යවරුන්ට ආරාධනා කිරීමට ද තීරණය කෙරිණි.
ඒ ඒ පළාත්වල ප්‍රධාන රාජ්‍ය ශ්‍රවණාගාර, රංග ශාලා සහ කොළඹ නෙළුම් පොකුණ රඟහල, ටවර් හෝල්, එල්ෆින්ස්ටන් සහ ජෝන් ද සිල්වා රඟහල නම් කරන ලද කාලසීමාවකට ඉතා සුවිශේෂී මිලකට ලබාදීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසත් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.
නිදහස් දිනයට සමගාමීව අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස 1996ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව, මහරගම සහ කොට්ටාව ප්‍රදේශවල මෙම නිවාස ඉදි කිරීමට නියමිතය. කලාකරුවන් වෙනුවෙන් කොට්ටාවේ ඉදිවන නිවාස සංකීර්ණය වෙන් කෙරේ.
මෙම සියලු නිවාස දේශපාලන පදනම හෝ හිතවත්කම් මත නොව, ප්‍රමුඛතාව සහ නිසි අවශ්‍යතාවය මත පදනම්ව පමණක් ලබාදීමට අවශ්‍ය ක්‍රමවේදය වහාම සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.
75 නිදහස් දිනයට සමගාමීව සියලුම පළාත් මූලික කරගනිමින් විවිධ තේමාවන් යටතේ ප්‍රදර්ශන පැවැත්වීමටත්, දෙවුන්දරතුඩුව සහ පේදුරුතුඩුව යා කරමින් ප්‍රදර්ශනාත්මක පාපැදි සවාරියක් සංවිධානය කිරීමටත් ජනාධිපතිවරයා යෝජනා කරන ලදී.
එමෙන්ම එදින මූලික කරගනිමින් සීමිත පිටපත් සංඛ්‍යාවක් සහිත සුවිශේෂී මුද්දරයක් නිකුත් කිරීමටත්, 1948 නිදහස් දින උළෙලට සමගාමීව පුවත්පත්වල පළ වූ ලිපි, වාර්තා ආදිය යළි ජනගත කරමින් නිදහස් දිනය පිළිබඳ ජනතාව තුළ අභිමානයක් ඇති වන අයුරින් වැඩසටහනක් දියත් කිරීමටත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සැලසුම් කර තිබේ.
මීට අදාළ අනුකමිටු, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ජනාධිපති ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
popular news
-
Sanath Friday, 09 September 2022 05:21 AM
What is left there to be proud of when we had fallen to the very bottom after 75 years of Colonial rule?? We can only be ashamed and hide our faces.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

