5 සිට 13 තෙක් ශ්‍රේණිවල පාසල් කාලය පස්වරු 2 තෙක් දිගු වෙයි
ඉදිරි වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වර්තමාන තත්වය සහ ඊට සමගාමීව සිදුවන පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම අරමුණු කරගෙන මාධ්‍ය හමුවක් අද (06) දින නාලක කලුවැව (අධ්‍යාපන ලේකම්)ගේ මූළිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විය.
මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කරන ලද්දේ නව අධ්‍යාපන පරිවර්තනය වෙනසකට මුල පුරමින් 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම නව අධ්‍යාපන වෙනස සඳහා පුහුණු කරුවන් පුහුණු කිරීමේ කටයුතු ජාතික අධ්‍යාපන ආයතනය මගින් සිදු කරන අතර එහි 99% පමණ අවසන් කර ඇති බවයි. ඒමෙන්ම 1 සහ 6 ශ්‍රේණිවලට අදාළ ගුරුවරුන් පුහුණු කිරීම 2025.12.31 පමණ වන විට අවසන් කරන බවත් මෙම ශ්‍රේණි දෙක සඳහා එක වාරයක් සඳහා අවශ්‍ය මොඩියුල 106ක් ඉදිරි සති දෙක තුළ මුද්‍රණය කර අවසන් කරන බවත්ය.
මේ වන විට සමාජයේ බොහෝ කතා බහට ලක්ව ඇති පාසල් කාලය විනාඩි 30න් දීර්ඝ කිරීම 5 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිදු කරන බව සඳහන් කළ ලේකම්වරයා මෙය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ක්‍රියාකාකරම් මූලික අධ්‍යාපනයක් සිදු කිරීමට නියමිත බැවින් එක් කාලඡේදයක් විනාඩි 50ක් කිරීම සමස්ත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මත සිදු වන බවත්, ඊට සාපේක්ෂව දුම්රිය, ලංගම බස් වැනි පොදු ප්‍රවාහන සේවා වල කාලය වෙනස් කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන මණ්ඩලය වැනි ආයතන සමග සාකච්ඡා පවත්වා ඇති බවත් ප්‍රකාශ කරන ලදි.
එමෙන්ම ඉදිරි වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තනය පිළිබඳ පළාත් 09 ආවරණය වන පරිදි සියලුම අධ්‍යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩ සටහන් මේ වන විට ක්‍රියාත්මක බවත් ඒ්වා අවසන් අදියරේ පසුවන බවත් ප්‍රකාශ කරන ලදි.එමෙන්ම මේ සම්බන්ධව දෙමව්පියන් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් දෙසැම්බර් මාසයේ දී සිදු කිරීමට නියමිත බව අමාත්‍යාංශ ලේකම් ප්‍රකාශ කරන ලදි.
එසේම මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ප්‍රකාශ කර සිටියේ මෙම විෂය මාලා සකස් කිරීමේදී ලෝකයේ විවිධ රටවල අධ්‍යාපන ක්‍රමය පිළිබද පුළුල් නිරීක්ෂණයක් සිදු කළ බවත් ළමා මනසට උචිත ආකාරයෙන් අනාගත වැඩ ලෝකයට අවශ්‍ය ආකාරයට මෙය සකස් කර ඇති බවත්ය.
පරිවර්තනීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 10 ශ්‍රේණියේ සිට වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ මූලික අඩිතාලම සිදු කරන බවත්, එය ඉදිරියට ගෙන යාමක් ලෙස අ.පො.ස. උසස් පෙළ විෂය ධාරාව තුළත් එම අධ්‍යනයන් ඉදිරියට කරගෙන යා හැකි වන පරිදි සකස් කරන බව ප්‍රකාශ විය.
පාසල් කාලය විනාඩි 30න් දීර්ඝ කිරීමට අදාළව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් නාලක කලුවැව මහතා සදහන් කළේ නවීන තාක්ෂණයත් සමග බද්ධ වී ඉදිරියට යන ලෝකයට ගැලපෙන දරුවකු සමාජගත කිරීමේ අරමුණින් සිදුකරගෙන යන මෙම නව අධ්‍යාපන පරිවර්තනයට ගුරුවරුන් සහයෝගය ලබා දෙතැයි අපේක්ෂා කරන බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

