මෝටර් රථ ආඥා පනත නිසි ලෙස සංශෝධනය කර රථවාහන වැරදිවලට අදාළ රෙගුලාසි නිසි ලෙස සම්මත වී ගැසට් නිවේදනය නිකුත් වනතුරු රථවාහන වැරදි පිළිබඳ යෝජනා වී තිබෙන අවම දඩ මුදල් අය කරගැනීම සිදු නොවන බව 'අද' කළ සොයා බැලීමේදී පැහැදිලි විය.
අයවැය යෝජනා යටතේ අවම දඩයක් පිළිබඳ රුපියල් 2500 ක යෝජනාවක් සිදු වුවද, ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී සංශෝධනය වී තෝරාගත් වැරදි 07 ක් වෙනුවෙන් අවම දඩය රුපියල් 25,000 ක් දක්වා වැඩි කරනු ලැබිණි.
මෝටර් රථවාහන පිළිබඳ ආඥා පනතට අනුව රථවාහන වැරදිවලට අදාළ දඩ මුදල් අය කරගැනීම පිළිබඳ සඳහන්ව ඇත්තේ එහි රෙගුලාසි ලෙසින් වීම නිසා අදාළ විෂය භාර අමාත්‍යවරයා මාර්ගයෙන් අදාළ රෙගුලාසි සංශෝධනය කර නව ගාස්තු පිළිබඳ සඳහන් නව රෙගුලාසි සංශෝධන පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, ඒ සඳහා අනුමැතිය ලැබී පාර්ලිමේන්තුවේද සම්මත විය යුතු බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
එසේ නොමැතිව අයවැය යෝජනාවක් වශයෙන් පමණක් දඩ මුදල් වැඩි කිරීම පිළිබඳ ඉදිරිපත් වී, එය පාර්ලිමේන්තුවේ සම්මත වූ පමණින් අදාළ රෙගුලාසි නීතියක් නොවන බවද නීති විශාරදයෝ කියති.
මේ පිළිබඳ බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් 'අද' කළ විමසීමකදී ඔහු මේ බව පිළිගත්තේය.
'රථවාහන ආඥා පනත සංශෝධනය පිළිබඳ කටයුතු කළ යුත්තේ ප්‍රවාහන අමාත්‍යාංශයයි. මා දන්නා ආකාරයට මේ වනවිටත් ප්‍රවාහන අමාත්‍යාංශය අදාළ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශය ලෙස මගේ අමාත්‍යාංශයත් ඊට උපරිම දායකත්වය ලබා දී තිබෙනවා. මේක හදිසියේ කළ හැකි දෙයක් නොවෙයි.
රථවාහන සම්බන්ධයෙන් අධිකරණයට නඩු ලක්ෂයක් විතර එනවා. මේ නඩු අඩු කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වෙනවා. ස්ථානීය දඩ අය කරගැනීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වෙනවා. කෙසේ වුවත් මේ පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය විය යුතුයි. එහි ප්‍රධාන වගකීම තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයට නොවෙයි. එහි වගකීම තිබෙන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයටයි.
අනවබෝධය නිසා මේ පිළිබඳ ජනතාව දැඩි කලබලයට පත්ව තිබෙනවා. අවම වශයෙන් මේ පනත් සංශෝධන කටයුත්ත ප්රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කළත් අදාළ නීතිමය කාර්යයන් ඉටුකිරීම පිළිබඳ සති 06 – 08 ත් අතර කාලයක් ගතවෙනවා' යැයි බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මේ පිළිබඳ ජනාධිපති නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් 'අද' කළ විමසුමකදී ඔහු සඳහන් කළේ අය වැය ලේඛනවලින් මුදල් සොයාගැනීම සඳහා බදු සහ දඩ පැනවුවද, බදු ක්‍රමයට වඩා දඩ ක්‍රමය වෙනස් වන බවයි.
'අයවැය ලේඛනවලින් මුදල් හොයාගැනීම සඳහා බදු සහ දඩ පනවනවා. බදු ක්‍රියාත්මක කිරීමට අදාළ නීතිය බොහෝවිට පසුව ගෙන එනවා. ඒ ගෙන එන්නේ අයවැය ලේඛනය සම්මත වූ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදියි.
නමුත් දඩ ඊට වඩා වෙනස්. දඩ කියන්නේ දඬුවමක්. දණ්ඩනය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථාවේ හයවැනි වගන්තියේ සඳහන් වෙනවා. යම් වරදක් සිදුකරන අවස්ථාවේදී බලපැවැත්වෙන දණ්ඩනය ඒ වරද සම්බන්ධයෙන් වැඩි කිරීම නොකළ යුතු බව එහි සඳහන් වෙනවා.
හැම වෙලාවේම දඩ නියම කරන්නේ නීතියකට අනුවයි. බදු ආපසු ක්‍රියාත්මක වන පරිදි පනවන්න පුළුවන්. නමුත් ජාත්‍යන්තර නීතිය යටතේ වරදක් වුණා නම් මිසක දණ්ඩන ආපසු ක්‍රියාත්මක වන පරිදි පනවන්න බැහැ. සේපාල ඒකනායකගේ නඩුවේදී සේපාල ඒකනායක ගුවන් යානය පැහැරගෙන ගිය අවස්ථාවේ ඒ පිළිබඳ අපට නීති තිබුණෙ නැහැ. නමුත් අපි ජාත්‍යන්තර ප්රඥප්තිවලට අපි බැඳී සිටියා. ඒ නිසා ආපසු ක්‍රියාත්මක වන පරිදි නීති ගෙන එන්න ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දුන්නා.නමුත් මෝටර් රථ ආඥා පනත දැනට රටේ තිබෙන නීතියක්. ඒ අනුව තියෙන දඩ අදාළ වෙන්නේ වැරැද්ද කරන මොහොතටයි. පුළුවන් තරම් ඉක්මනින් අදාළ නීතිය වෙනස් කරලා දඩ වැඩි කරන එක සිදුකරන්න ඕනෑ. මේ මොහොතේ දඩයක් අලුතින් පනවන විට පනත සංශෝධනය කරන්න ඕනෑ. ඒක ආපසු ක්‍රියාත්මක වන පරිදි පනවන්න බැහැ. අලුත් නීතිය නියම වෙන්නේ පනත සම්මත වෙලා කථානායක සහතිකය ලැබුණට පස්සේ' යැයි ජනාධිපති නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ පිළිබඳ ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනුයේ අදාළ පනත හා රෙගුලාසි සංශෝධනය කිරීමට අදාළව කටයුතු ආරම්භ කර ඇතත්, එහි නීතිමය තත්ත්වයන් පිළිබඳ කටයුතු කිරීමේදී යම් කාලයක් ගතවන බවයි. එමෙන්ම ලබන වසරේ ජනවාරි 09 වැනිදා දක්වා පාර්ලිමේන්තු නිවාඩු කාලයක්ද පැමිණෙන නිසා මේ වසර තුළ අදාළ පනත සංශෝධනය වීම සැකසහිත බවද සඳහන් වෙයි.