22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් පිළිගෙන, මූලික කෙටුම්පත සම්මත කරන්නේ නම්, තම කණ්ඩායම ඊට පක්ෂ වන බව උත්තර ලංකා සභාගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී 'යටිකූට්ටු සංශෝධන' ගෙන ආවොත්, ඊට නිසි පිළිතුරු දෙන බවද ඔහු කීය.
ස්වාධීන පක්ෂ එකතුව බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
"22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා වගේම ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයද දැන් ලැබී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ මඟපෙන්වීම අනුව පමණක් කටයුතු කරනවා නම් එම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට උත්තර ලංකා සභාගය තුළ නියෝජනය වන පක්ෂවල පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සූදානම්.
නමුත් ඉදිරිපත් කරන ලද මූලික කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර තිබෙන සංශෝධන හැර කාරක සභා අවස්ථාවේදී හොඳ හෝ නරක හෝ වෙනත් සංශෝධන ඉදිරිපත් කිරීමට යනවා නම් අපට එම අවස්ථාවේදී තීරණය කරන්න වෙනවා මේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කළ යුතු දේ ගැන.
අපි එහෙම කියන්නෙ හේතුවක් සහිතවයි. ඔබ දන්නවා මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුව සමයේ යම් පනතකට තරුණ නියෝජනය වැඩි කිරීමට අදාළ සංශෝධන ගෙනාවා. නමුත් එම පනතට කාරක සභා අවස්ථාවේදී වෙනත් සංශෝධන රැසක් ගෙන ආවා. එම සංශෝධන ඇතුළත් කළාට පසුව පැවැති පනත හා නව පනත අහසට පොළොව වගේ වෙනස්.
ඒ නිසා එවැනි කූඨ ක්‍රමවේදයක් අනුව යමින් වෙනත් හොඳ සංශෝධන දෙක තුනක් සමග තමන්ට උවමනා යටිකූට්ටු සංශෝධන කිහිපයක් ගෙන ඒමේ අවදානම අප ඉදිරියේ තිබෙනවා. ඒ නිසා තමයි ජාතික සංවිධාන පෙන්වා දෙන්නේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය අස්සේ රටට අහිතකර වෙනත් සංශෝධන, කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කිරීමට පුළුවන් කියා.
19 වැනි සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී කැත අතීත භාවිතාවකට හිමිකම් කියන නිසා අපි ආණ්ඩුවට දැඩි කොන්දේසියක් පනවනවා. 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් සහිතව සම්මත කරන්නේ නම් අපි ඊට පක්ෂ වෙනවා. හැබැයි ඒ සංශෝධනවලට අමතරව වෙනයම් යටිකූට්ටු සංශෝධන ගෙන ඒමට පටන් ගත්තොත් අපේ සහයෝගය ලබාදීම පිළිබඳ අපට යළි සලකා බලන්න සිද්ධ වෙනවා.
එහෙම තත්ත්වයක් ආවොත් අපි තීන්දු කරලා තිබෙනවා, 'අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙනම පාර්ලිමේන්තුවේ රැස්වෙලා, ඇති වී තිබෙන තත්ත්වය සමාලෝචනය කරලා, ගත යුතු අවසන් පියවර ඒ අවස්ථාවේ දී ගත යුතුයි' කියලා. මේක අපි කියන්නේ සද්භාවයෙන්. අපට ඕනෙ නැහැ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දැනට අපි පිළිගන්නා කෙටුම්පත සම්මත වීම වැළැක්වීමට. කඩාකප්පල්කාරී වැඩ කරන්න අපට උවමනා නැහැ. අපිට උවමනා එම කෙටුම්පත සම්මත කිරීමට. නමුත් ඒක ඉස්සරහට දාලා වෙන වෙන අහිතකර සංශෝධන ගෙන එනවා නම් අපි ඒකට විරුද්ධයි. එහෙම වුවහොත් අපේ මන්ත්‍රී කණ්ඩායමේ සහයෝගය ලබාගැනීමට බැරි වීමේ අවදානමක් තිබෙනවා" යනුවෙන්ද ප්‍රකාශ කළේය.