22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා කොන්දේසි සහිතව සහයෝගය ලබාදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තුළ සාකච්ඡා පවත්වන බව අද (17දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
"දැන් 22වැනි සංශෝධනය පිළිබඳ විවිධ අදහස් තිබෙනවා. සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත් තීරණය කළා 22වැනි සංශෝධනය යම් ආකාරයකට 20වැනි සංශෝධනයට වඩා ප්රජාතන්ත්රවාදී මුහුණුවරකට කාරණා කිහිපයක් ඇතුළත් වෙලා ඉන්නවා. නමුත් 19වැනි සංශෝධනයට සමගාමී නෑ. අපි ඉල්ලන්නේ 19වැනි සංශෝධනයේ තිබුණු කරුණු එලෙසම ඉදිරිපත් කරන්න. සංශෝධන තිබෙනවා නම් අපට සාකච්ඡා කරලා ගේන්න පුළුවන්.
නමුත් 20වැනි සංශෝධනයට වඩා එහා ගිය තත්ත්වයක්, ඒ වගේම 20වැනි සංශෝධනයට වඩා ප්රජාතන්ත්රවාදී මූලික ලක්ෂණ කිහිපයක් ඇතුළත් වෙලා තිබෙන නිසා කොන්දේසි සහිතව අපේ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවලදී තීරණය කර තිබෙනවා. 22වැනි සංශෝධනයට අපේ සහයෝගය ලබාදෙනවා කියලා. ඒත් ඒ සහයෝගය ලබාදීම පිළිබඳ අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවට භාජනය වීම තවදුරටත් සිදු විය යුතුව තිබෙනවා.
ඒ අනුව කොන්දේසි කිහිපයක් සහිතව අපි සහයෝගය දෙන්න තීරණය කළා. එකක් තමයි අපි කියන්නේ මේ 22වැනි සංශෝධනයේ තිබෙන මූලික කාරණා කිසිවක් වෙනස් කරන්න, සංශෝධනය කරන්න, කාරක සභා අවස්ථාවේදී යෝජනා ඉදිරිපත් කරන්න ආණ්ඩුව ක්‍රියා නොකළ යුතුයි. මොකද අධිකරණය යම් නිගමනයන් දීලා තිබෙනවා. ඒ අධිකරණය ලබාදුන් නිගමනවලට බාහිර ලෙස ආණ්ඩුව කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කරලා මේක අවුල් කරනවා නම් අපට කිසිවිටෙකත් 22වැනි සංශෝධනයට සහයෝගය දක්වන්න බෑ.
ඒ වගේම පාර්ලිමේන්තුව විසුරවා හැරීම පිළිබඳ වසර දෙකහමාරක් කියන කාරණාව වෙනස් නොවිය යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ දරපු මතය සහ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ 19වැනි සංශෝධනයේ සඳහන් වුණු කාරණාව කිසිසේත් වෙනස් නොවිය යුතුයි 22වැනි සංශෝධනයෙන්. මේවාට කාරක සභාවල ආණ්ඩුව සංශෝධන ඉදිරිපත් කරනවා නම්, 22වැනි සංශෝධනයට තිබෙන අපේ ස්ථාවරය වෙනස් වෙන්න පුළුවන්" යැයි පැවසීය.