ජනතාවගේ පැත්තේ සිටගනිමින් 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කරන බවත්, එය කිසිසේත් වර්ථමාන රජය ශක්තිමත් කිරීම සඳහා එක් නොවීමක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම පිළිබඳ අද (20දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
මේ වන විට අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 22වතාවක් සංශෝධනය කරන්න යන අවස්ථාව මේක. සාමාන්‍යයෙන් බැලුවොත් සෑම ආණ්ඩුවක්ම ව්‍යවස්ථා සංශෝධනයට ගිහින් තිබෙනවා. ඒ වගේම අපි කණගාටු වෙන්න ඕනී එංගලන්තයේ පාර්ලිමේන්තුව ලියපු ව්‍යවස්ථාවක් නැතිව අවුරුදු සිය ගානක් පාලනය කරනවා. අපි අවුරැදු 48ක කාලය තුළ 22වතාවක් ව්‍යවස්ථාව සංශෝධනය කරනවා. මමත් බොහොම පැහැදිලිව පිළිගන්නවා මේ සංශෝධනය වූ අවස්ථා 22දී වැඩිහරියක් ජනතාවගේ ඕනෑ එපාකම් සඳහා නෙවෙයි, ජනතාවගේ අයිතිවාසිකම් සහ එහෙමත් නැතිනම් ජනතාවට ලැබිය යුතු දේවල් පිළිබඳව නෙවෙයි. ඒ බෝහෝ සම්මත වෙලා තිබෙන්නේ තමාගේ බලය හෝ වෙනත් බොහෝ කරැණු සම්බන්ධයෙන්.
මේ ආණ්ඩුව බලයට පත්වුණේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා. ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපත් රොමේෂ් ද සිල්වා නීතීඥ තුමා ගෙනල්ල අපේ අතටම දුන්නා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශයෙත් තිබුනේ, ඒ වගේම 20 වැනි සංශෝධනය සම්මත කරන වෙලාවෙත් කිව්වේ අනිවාර්යෙන්ම අලුත් ව්‍යවස්ථාව ගෙනවිත් ඒක සම්මත කරනවා කියලා. නමුත් එය සිදු වුනෙත් නෑ. මේ සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය පාවිච්චි කරනවා. ඒ සංශෝධනයට ඡන්දය පාවිච්චි කරන්නේ වෙනත් කිසිදු හේතුවක් නිසා නෙවෙයි. රජය ශක්තිමත් කිරීමක් කියලා අපිට චෝදනා එන්න පුලුවන්. මේ ප්රශ්නයේදී අපි පිළිගන්නවා ජනතාවගේ පැත්තෙන් ඉතාමත්ම හොඳ සංශෝධනයක් කියලා. ඒ නිසා අපි ජනතාවගේ පැත්තෙන් සිටගනිමින් මේ සංශෝධනයට ඡන්දය පාවිච්චි කරන්නේ.