සෞඛ්‍ය බලධාරීන්ගේ වංචනික හා පදනම් විරහිත ක්‍රියාවලට එරෙහිව සහ සයිටම් අහෝසි නොකිරීමට එරෙහිව මේ මස 22 වැනිදායින් පසු ඕනෑම දිනයක වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කරුණු 09ක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවත්, වැඩවර්ජනය එක්දින වැඩවර්ජනයක්ද, එසේ නොමැති නම් අඛණ්ඩ වැඩවර්ජනයක්ද යන්න ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කරන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
වැඩවර්ජනවලින් පිළිතුරු ලබාදීමට අමතරව විරෝධතා ව්‍යාපාරවලින්ද පිළිතුරු ලබා දියයුතු බවඊයේ (15දා) රැස්වූ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය වූ අතර, මෙම තීරණයට අනුව 22 වැනිදායින් පසු ඕනෑම දිනයක වැඩවර්ජනය ආරම්භ කිරීමට තීරණය කළ බවද ඔහු පවසා සිටියේය.
පොරොන්දු වූ ආකාරයට දෙසැම්බර් 31 වැනිදා සයිටම් ආයතනය අහෝසි නොකිරීම, වෛද්‍යවරුන්ගේ මූලික වැටපුට සාපේක්ෂව දීමනා ලබානොදීම, ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් සේවා කාණ්ඩ කිහිපයකට පමණක් වැටුප් වැඩි කිරීමට විරෝධය පළකිරීම, වෛද්‍යවරුන්ට පොරොන්දු වූ ආකාරයට බාධා, පැමිණීමේ හා ප්‍රවාහන දීමනා ලබා නොදීම සහ තීරු බදු වාහන බලපත්‍ර ලබාදීම විකෘති කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
වැඩවර්ජනය සිදුකරන දිනය දැනුම්දීමට කටයුතු නොකරන අතර, මෙම වර්ජනය සමස්ත රෝහල් පද්ධතියම ඒකාබද්ධ කරගනිමින් සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.