22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සුවිශාල සහායක් දැක්වුව ද වෙනත් බලවේගයන් ක්‍රියාත්මක වීමෙන් එය මෙතෙක් සම්මත කර ගැනීමට නොහැකිව ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රජපක්ෂ මහතා පැවැසීය.
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පවතින ගැටළු පිළිබදව සාකච්ඡා කිරීම සදහා එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ පෙරවරුවේ පැවති සුහද හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
වර්තමානය වන විට රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ මුල්‍යමය වශයෙන් තීරණ ගැනීම ඉතා අපහසු ක්‍රියාවක් වුව ද නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව මුහුණ දී ඇති පොදු ගැටළු හදුනා ගෙන ඒ සදහා විසදුම් ලබාදීමට පියවර ගනිමින් සිටින බවත්, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සේවය සදහා පැමිණිමට අපේක්ෂාවෙන් සිටින නීතිඥවරුන්ට හා දැනට සේවය කරනු ලබන නිලධාරීන්ට තවදුරටත් දැනුම අවබෝධය ලබාදීම අරමුණු කර ගනිමින් විශ්ව විද්‍යාල මට්ටමින් නීති කෙටුම්පත් සම්පාදනය කිරීම පිළිබදව ඩිප්ලෝමා හා පශ්චාත් උපාධි පාඨමාලාවන් හදුන්වාදීමට කටයුතු කිරීම අතිශයින් වැදගත් වන බවත්, අධිකරණ අමාත්‍යතුමා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.
නීතිය පිළිබදව අධිකරණ අමාත්‍යතුමා විසින් රචනා කරන ලද ග්රන්ථ කිහිපයක් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත පරිත්‍යාග කිරීම මෙහිදී සිදු වු අතර , එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට තමන්ට පවතින ගැටළු අධිකරණ අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද මෙහිදී උදා විය.