දුම්රිය සේවයේ ශ්‍රේණි කිහිපයකට ඇති වී තිබෙන වැටුප් ගැටලු විසඳා ගැනීම සඳහා මේ මස 23 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡාවක් ලබාදී තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
පෙරේදා (18දා) දිනයේදී දුම්රිය වෘත්තීය සමිති හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් පැවැත්වූ බවත්, මේ අනුව 23 වැනිදා (බ්‍රහස්පතින්දා) මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන්ද කැඳවා සාකච්ඡා කිරීමට තීරණය කළ බවද දුම්රිය එන්ජින් රියදුරු සංගමය සඳහන් කරයි.
මේ අනුව 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ වැඩවර්ජනය අත්හිටුවන බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.