20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ බලය දුර්වල වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (30) පැවසීය.
ඊට අමතරව ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනතාවගේ ස්වෛරීභාවය උල්ලංඝණය වී සියලු බලතල ජනාධිපතිවරයා වටා කේන්ද්‍ර වන්නේ යැයිද නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
රජය විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කොට ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් හා විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ අනුමැතියකින් සම්මත කර ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කොට ඇති පෙත්සම්කරුවන් වෙනුවෙන් දේශන ඉදිරිපත් කිරීම අවසන් විය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට ඇති පෙත්සම් 39ය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඊයේ රාත්‍රී 7.00 පමණ වනතුරු සිය දේශන ඉදිරිපත් කොට අවසන් කෙරිණි.
අගවිනිසුරු ජයන්ත ජයසුරිය, බුවනෙක අථවිහාරේ, සිසර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද උදෑසන 9.30ට පමණ පෙත්සම් විභාගය ආරම්භ කෙරිණි.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඉරාජ් ද සිල්වා මහතා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වමින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනතාවගේ ස්වෛරීභාවය උල්ලංඝණය වී සියලු බලතල ජනාධිපතිවරයා වටා කේන්ද්‍ර වන්නේ යැයිද අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ බලය දුර්වල වී එම බලය ජනාධිපතිවරයාට නතු වන්නේ යැයිද පැවසීය.
පනත් කෙටුම්පතේ විධිවිධාන මඟින් නීතීයේ ආධිපත්‍ය, වගවීම සහ රාජ්‍ය පාලනය කිරීමේ අංග තුනේ සමතුලිතතාවය බිද වැටෙන බවද පෙන්වා දෙන නීතීඥ ඉරාජ් ද සිල්වා මහතා බලය බේදීමේ න්‍යායට පටහැනි ආකාරයෙන් මහජන බාර මුලධර්ම උල්ලංඝණය වන බවද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් රාජ්‍ය පාලන බලතල ද්විත්ව පුරවැසියකුට ලැබෙන බවද පැවසීය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කොට ඇති අතරමැදි පෙත්සම් 07 වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට හා මෙම පෙත්සම් වල වගඋත්තරකරු වශයෙන් නම් කොට ඇති නීතීපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම සදහා මෙම පෙත්සම් අනිද්දා (02) දිනයේ කැදවීමට නියමිතය.