වසර 2050 වනවිට රටේ සමස්ත බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යරවයා මෙම අදහස් පළකළේ ඊයේ (13) පස්වරුවේ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ සංවිධානය කර තිබු ශ්‍රී ලංකා සුනිත්‍ය ශක්ති අධිකාරියේ ජාතික බලශක්ති සම්මන්ත්රණ හා නවෝත්පාදන සංසදයට සහභාගි වෙමිනි.
"දෛනිකව වර්ධනය වන විදුලිබල හා බලශක්ති ඉල්ලුම සපුරාලීම පිණිස, මේ වනවිට රටේ පවතින දේශීය ප්‍රභවයන් ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙම ඉල්ලුම සපුරාලීම පිණිස මේ වනවිටත් පොසිල ඉන්ධන ආනයනය සිදුකරනවා. මේ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් විදේශයන් වෙත ගෙවීමට සිදුවී තිබෙනවා. මෙම ගැටලුවට තිරසාර විසදුමක් හැටියට, විදුලිබල හා බලශක්ති ක්ෂේත්රයේ දිශානතිය පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමුකිරීම වඩාත් වැදගත්.
මේ වෙනවිටත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවි ඇති අතර ඒ සම්බන්ධයෙන්වන ව්‍යාපෘතීන් රැසකට යොමුවී තිබෙනවා
. එහි එක් පියවරක් වශයෙන් අනාගතයේදී මගී ප්‍රවාහන ක්ශේත්‍රයේ සුවිශාල විප්ලවයක් ඇති කිරීමට සමත්, සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් ක්රියාකලහැකි ආකාරයේ ත්‍රීරෝද රථ නියමු ව්‍යාපෘතියක් මෙරටට හදුන්වාදීමට කටයුතු කිරීම සතුටට කරුණක්. එමෙන්ම වසර 2050 වනවිට රටේ සමස්ත විදුලිබල නිෂ්පාදනයෙන් 100%ක්ම පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට කටයුතු කරනවා.
මේ රටේ පවතින බලශක්ති උත්පාදන මූලාශ්රයන් ඉතාමත් සීමිත බැවින්, රටේ බලශක්ති සුරක්ෂිත කිරීම අත්‍යාවශයයි. ඒ ආකාරයෙන් සැලසුම්සහගතව ක්‍රියාත්මකවීම තුළින් ඉන්ධන ආනයනය වෙනුවෙන් වැයවන විශාල විදේශ විනිමය ප්‍රමණයක් ආරක්ෂා කරගත හැකි වනවා.
එමෙන්ම ලෝකයේ සංවර්ධන අරමුණු අතර වැදගත් ඉලක්කයක්වන අඩු කාබන් තිරසාරත්වයක්ද ලබාගත හැකිවනවා. සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන තුළින් ගනු ලබන නිගමන සහ නිර්දේශයන් ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්රයේ ප්රගමනයට මෙන්ම බලශක්ති ක්ෂේත්රයේ දැනට පවතින ගැටළු විසදීම සදහා ඉතාමත් වැදගත්"