2050දී ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය හේතුවෙන් වාර්ෂිකව මිලියන 10 ක් මරුට
වෙනුවෙන් පැවැත්වෙන ජාතික උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් 14 වන සිකුරාදා දින කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ප්‍රතිජීවක ප්‍රතිරෝධය වැළැක්වීම පිළිබඳ ජාතික කේන්ද්‍රස්ථානයේ සංවිධානයෙන් "අදම ක්‍රියාත්මක වෙමු. අපගේ වර්තමානය ආරක්ෂා කර ගනිමු. අපගේ අනාගතය සුරක්ෂිත කරමු" (Act Now: Protect Our Present, Secure Our Future) යන්න තේමා කර ගනිමින් මෙවර ජාතික උත්සවය පැවැත්වේ.
ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය (ප්‍රති ජීවක ප්‍රතිරෝධය) (AMR) යනු බැක්ටීරියා, වෛරස්, දිලීර සහ පරපෝෂිතයන්ගේ යම් යම් වෙනස්වීම් හේතුකොට ගෙන ප්‍රති-ක්ෂුද්රජීවී ඖෂධ මගින් විනාශ නොවීමට පෙළඹීම නිසා ඇතිවන සංසිද්ධියකි. මෙය ගෝලීය සෞඛ්‍යයට සහ සංවර්ධනයට බලපාන තර්ජනයක් වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය / ප්‍රති ජීවක ප්‍රතිරෝධය මානව වර්ගයා මුහුණදෙන ප්රමුඛ ගෝලීය මහජන සෞඛ්‍ය තර්ජන දහයෙන් (10) එකක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධ දැනුවත් කිරීමේ සතිය තුළ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය පිළිබඳව දැනුවත්භාවය සහ අවබෝධය ඉහළ නැංවීම මෙන්ම ඖෂධ-ප්‍රතිරෝධී ආසාදන මතුවීම සහ පැතිරීම අවම කිරීම, සුදුසුම ඖෂධ භාවිතය ප්‍රවර්ධනය කිරීම් සිදු කරනු ලබයි.
බැක්ටීරියා, වෛරස්, දිලීර සහ පරපෝෂිතයන් තවදුරටත් ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ කාරකවලට ප්‍රතිචාර නොදක්වන විට එය ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය ලෙස හඳුන්වයි. ඖෂධ ප්‍රතිරෝධයේ ප්‍රතිඵලයක් ලෙස, ප්‍රතිජීවක සහ අනෙකුත් ප්‍රති-ක්ෂුද්‍ර ජීවී කාරක ඖෂධ (ප්‍රති ජීවක ඖෂධ) අකාර්යක්ෂම වන අතර ආසාදනවලට ප්‍රතිකාර කිරීම අසීරු වේ හෝ අපහසුවේ. ඒ හේතුවෙන් රෝග පැතිරීමේ අවදානම වැඩි වීම, දරුණු රෝගාබාධ ඇති වීම සහ මරණ අනුපාතය ද වැඩි වීම සිදුවේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිජීවක ප්‍රතිරෝධය වැළැක්වීම පිළිබඳ ජාතික කේන්ද්‍රස්ථානයේ ප්‍රධානී නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා නිකුත් කළ නිවේදනයක දැක් වේ.
එම නිවේදනයට අනුව ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය හේතුවෙන් 2019 වසරේ සිදු වූ මරණ ගණන මිලියන 1.27 ක් ලෙස අනුමාන කර තිබුණ ද සිදු වූ මරණ ගණන මිලියන 4.95 ක් වේ. මෙම ප්‍රවණතාවය අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත්, 2050 වන විට ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය හේතුවෙන් වාර්ෂිකව මිලියන 10 ක ජනතාවක් මිය යනු ඇතැයි අනුමාන කෙරේ.
ඉහත නිවේදනයට අනුව මරණයට හා ආබාධිත තත්වයට පත්වීම, රෝගී තත්වය සුව නොවී දිගටම පැවතීම නිසා දිගුකාලීනව රෝහල් ගතවී වීමට සිදුවීම, මිල අධික ඖෂධවල අවශ්‍යතාව ආදී කරුණු වලට අමතරව ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධයේ බලපෑමට ලක්වූ පුද්ගලයන්ට හා ඔවුන්ගේ පවුල්වලට විශාල මුල්‍යමය පිරිවැයක් දැරීමට සිදු වීමෙන් දරුණු ආර්ථික අර්බුදයන්ට මුහුණ දීමට සිදුවේ. 2030 වන විට ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය නිසා මිලියන 24 ක පමණ ජනතාව අන්ත දරිද්‍රතාවයට පත්විය හැකිය. තවද, 2050 වන විට, ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධයේ බලපෑම හේතුවෙන් මිල අධික ඖෂධ හා දැඩි සත්කාර සේවා සම්බන්ධ වියදම් වැඩිවී වසරකට ඩොලර් ට්‍රිලියන 1.2 ක අතිරේක සෞඛ්‍ය වියදමක් දැරීමට සිදුවිය හැකි බවට අනුමාන කෙරේ.
ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ වලට ප්රතිබැක්ටීරියා, ප්‍රතිවෛරස්, ප්‍රතිදිලීර සහ ප්‍රති-පරපෝෂිත ඖෂධ ඇතුළත් වන අතර, ඒවා මිනිසුන්ගේ සහ සතුන්ගේ ආසාදන වැලැක්වීමට සහ අසාදන රෝග වලට ප්‍රතිකාර කිරීමට භාවිතා කරයි. ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්රතිරෝධයට ප්‍රධාන හේතු වන්නේ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීම සහ අධික ලෙස භාවිතා කිරීමයි. බොහෝ ස්ථානවල මිනිසුන්ට සහ සතුන්ට සැබෑ අවශ්‍යතාවයකින් තොරව ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරයි. නමුත් ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීම නිසා ඇතිවන ප්රතිරෝධිතාව හේතුවෙන් බරපතල රෝගාබාධවලට ගොදුරු වීම හා මරණයට හේතු විය හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ පරිභෝජනය දියුණු රටවලට වඩා බෙහෙවින් වැඩිය. එපමණක් නොව පෞද්ගලික අංශයේ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ භාවිතය රජයේ අංශයේ මෙන් දෙගුණයකි.
ජාතික ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ආවේක්ෂණ පද්ධතියෙන් ලබා ගත හැකි දත්තවලට අනුව, රෝගීන්ගේ රුධිර සාම්පල වලින් හඳුනාගන්නා ලද ප්රමුඛ රෝගකාරක වල ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධවලට දක්වන ප්‍රතිරෝධයේ ඉහළ අනුපාතයක් පෙන්වන බව නිරීක්ෂණය කර ඇත. ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්රතිරෝධිතව සහිත ක්ෂුද්‍ර ජීවීන්, මිනිස් සහ සත්ව ප්‍රජාවන් අතර ඉක්මනින් පැතිර යා හැක.
මීට අමතරව, මිනිසුන්ට සහ සතුන්ට ලබා දෙන ප්‍රතිජීවක අනිවාර්යයෙන්ම පරිසරයට එකතු වන අතර එසේ එකතුවන ප්‍රති-ක්ෂුද්‍ර ජීව ඖෂධ පරිසර පද්ධතිය තුල ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධීතාවය ප්‍රවර්ධනය වීම සදහා හේතුවේ. එබැවින්, අප සියලු දෙනාම එක් වී ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්රතිරෝධිතවයට (AMR) එරෙහිව සටන් කිරීමට පියවර ගැනීම වැදගත් වේ.
සියලුම අංශවල සහභාගීත්වය ඇතිව සකස් කරන ලද, ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්රතිරෝධයට එරෙහිව සටන් කිරීමේ ජාතික උපාය මාර්ගික සැලැස්ම මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. (ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්රතිරෝධයට එරෙහිව සටන් කිරීමේ ශ්‍රී ලංකාවේ ජාතික උපාය මාර්ගික සැලැස්ම) සෞඛ්‍ය අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික ජලජ සම්පත් සහ පර්යේෂණ නියෝජිතායතනය සහ පරිසර අමාත්‍යාංශය මේ සඳහා ප්‍රධාන වශයෙන් දායකවේ.
ප්‍රති-ක්ෂුද්‍ර ජීවී / ප්‍රති ජීවක ඖෂධ ප්රතිරෝධයට එරෙහිව සටන් කිරීමට අපට කළ හැකි දේ අතර, මිනිසුන් සහ සතුන් සඳහා අනවශ්‍ය ලෙස ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ භාවිතා කිරීමෙන් වැළැකී සිටීම පෙන්වා දිය හැක. ප්‍රති-ක්ෂුද්‍ර ජීවී නාශක ඖෂධ සෑම ආසාදනයක්ම සුව නොකරයි. වෛද්‍යවරයෙකුගේ හෝ පශු වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත පමණක් ප්‍රති-ක්ෂුද්රජීවී නාශක ඖෂධ භාවිතා කල යුතු අතර ප්‍රති-ක්ෂුද්‍ර ජීවී නාශක ඖෂධ භාවිතය සඳහා දෙන ලද උපදෙස් නිවැරදිව පිළිපැදිය යුතුය.
හිතුමතේට තමා විසින්ම ඖෂධ ලබා නොගත යුතු අතර, තමාගේ අභිමතය පරිදි වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ භාවිතා කිරීමෙන් වැළැකිය යුතුය. හොඳ සනීපාරක්ෂක පිළිවෙත් පවත්වා ගැනීම මගින් මිනිසුන් සහ සතුන් අතර ආසාදන පැතිරීම වැළකෙනු ඇති අතර එමගින් ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ භාවිතා කිරීමේ අවශ්‍යතාවය අඩු වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

