2025දී කොටි මරණ විශාල ලෙස ඉහළ ගිහින්, කොටින්ගේ පැවැත්මත් අර්බුදයක
2025 වසර තුළ මෙරට කොටියන් 25කු මිනිස් ක්‍රියාකාරකම් ඇතුළු විවිධ හේතුන් මත මරණයට පත්ව ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 2024 වර්ෂයට සාපේක්ෂව එම අගය විශාල ඉහළ යාමක් පෙන්නුම් කරන බවත්, 2024 වර්ෂයේදී මෙරට වාර්තා වූයේ කොටි මරණ 14ක් බව පරිසරවේදීහු කියති.
කම්බි මඳුවලට හසු වීමෙන් පස් දෙනෙකු, විෂ ශරීර ගත වීමෙන් පස් දෙනෙකු, වාහනවල ගැටීමෙන් දෙදෙනෙකු, වෙඩි වැදීමෙන් දෙදෙනෙකු, හක්කපටස් කෑමෙන් එක් අයෙකු, වෙනත් කොටියෙකු පහරදීමෙන් එක් අයෙකු, ස්නායු ආබාධයකට ලක්ව එක් අයෙකු, විජලනය හා පණු රෝගය හේතුවෙන් එක් අයෙකු, පරපෝෂිත ආසාදනයකින් එක් අයෙකු, සහ නිශ්චිත හේතුවක් අනාවරණය නොවුන මරණ ලෙස හය දෙනෙකු ලෙස මෙලෙස 2025 වසර තුළ කොටි මරණ සිදුව ඇති බවට වාර්තා වී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (සෞඛ්‍ය) වෛද්‍ය සී. ජී. විජේසිංහ මහතා පවසයි.
මධ්‍යම වනජීවී කලාපයට අයත් පුස්සැල්ලාව, ලක්ෂපාන වත්ත, මේෆීල්ඩ් වත්ත, මාරතැන්න, හෝර්ටන්තැන්න, ලිඳුල, දුනුමඩලාව, පස්බාගේ කෝරලේ, කොත්මලේ, බණ්ඩාර කැටිය, තලවකැලේ දෙදෙනෙකු, හග්ගල දෙදෙනෙකු, කිලිනොච්චිය වනජීවී කලාපයේ වැලිඔය, පදවිය, දකුණු වනජීවී කලාපයේ ශ්‍රී පලාබද්දල, බෙරලපනාතර, කුඩාවැව, උඩවල ජාතික උද්‍යානය, ගල්කොටුන්ද, නැගෙනහිර වනජීවී කලාපයේ මාදුරුඔය, කුමන ජාතික වනෝද්‍යානය, ඌව වනජීවී කලාපයේ යාල කලාප අංක පහ සහ බුදුරුවාගල ආදී ප්‍රදේශයන් තුලදී මෙම කොටි මරණ සිදුව ඇති බවද විජේසිංහ මහතා සඳහන් කරයි.
එමෙන්ම 2025 වසර තුලදී මධ්‍යම වනජීවී කලාපයට අයත් පල්ලේකැලේ සහ තලවකැලේ ප්‍රදේශවල කම්බි මදුවලට හසුව සිටි කොටියන් දෙදෙනෙකු පශු වෛද්‍ය සහ වනජීවී නිලධාරීන් එකතුව බේරා ගෙන රන්දෙණිගල සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රතිකාර සිදු කිරීමෙන් පසු වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ අභය භූමිය වෙත මුදා හැරීමට පියවර ගෙන ඇති බවද තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සිදු කරන ලද විමසීමේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (සෞඛ්‍ය) සී. ජී. විජේසිංහ මහතා සඳහන් කොට තිබේ.
ශ්‍රී ලංකා කොටියා යනු මෙරට වනාන්තරවල පමණක් හමුවන විලෝපීය ක්ෂිරපායි සත්ත්වයෙකු බවත්, ලොව සිටින කොටි විශේෂ අටෙන් එක උප විශේෂයක් ලෙස නම් කොට ඇති ශ්‍රී ලංකා කොටියා මෙරටට පමණක් ආවේණික, එමෙන්ම වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සත්ත්ව විශේෂයක් බව පරිසරවේදීහු පවසති.
පසුගිය වසර තුන තුළදී පමණක් මෙරට කොටි මරණ 51ක් සිදුව ඇති බවත්, වාර්ෂිකව සිදුවන කොටි මරණවලින් වාර්තා වනුයේ සියයට විස්සක අතර ප්‍රමාණයක් බවත්, අනෙකුත් බොහෝ කොටි මරණ අනාවරණය නොවෙමින් පවතින බවත්, මෙම තත්ත්වය මත මෙරට වනාන්තරවල වෙසෙන විශාලතම විලෝපිකයන්ගේ ජීවිත දැඩි අනාරක්ෂිත හා අවදානමකට ලක්ව ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
