මේ වසරේ සැප්තැම්බර් අවසන් වන විට ලංකා විදුලි බල බලමණ්ඩලය 2023 වසරට අදාළව රුපියල් බිලියන 29ක අලාභයක් ලබා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ලංවිම ගාස්තු වැඩිකිරීම, ජල විදුලි උත්පාදනය හා ලංවිම අලාභ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව පැවසීය.මේ වසරේ ඔක්තෝබර් 23 දා වන විට ජල විදුලියෙන් උත්පාදනය කර ඇති ගිගාවොට් පැය ගණන 2893.76ක් බවත් 2022 හා 2021 වසර දෙකේදී එම අගය පිළිවෙළින් ගිගාවොට් පැය 5364.29 ක් හා 5639.99ක් වූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ වසරේදී ජල විදුලියෙන් ගිගාවොට් පැය 4500ක් නිපදවීමට සැලසුම් කළත් එම අගය නැවත 3750කන් දක්වා සැප්තැම්බර් මාසයේදී අඩුවෙන් පුරෝකතනය කළ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
2014 සිට 2022 දක්වා ලංවිම සමුච්චිත අලාභය රුපියල් බිලියන 565ක් බවත් එම කාල සීමාවේදී ලංවිමට අවාශ්‍ය කාරක ප්රාග්ධනය ලෙස රජය රුපියල් බිලියන 257ක් ලබාදී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
2022 වසරේදී ලංවිම අලාභය රුපියල් බිලියන 272ක් බවත් මේ වසරේ සැප්තැම්බර් දක්වා ලංවිම අලාඵය රුපියල් බිලියන 29ක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ වසරේ ජනවාරි මාසයේදී වසරකට දෙවතාවක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට රජය ප්‍රතිපත්ති තීරණයක් ගත්තේ අසාමාන්‍ය අවස්ථා යටතේ හදිසි ගාස්තු සංශෝධනයන් සඳහාද ඉඩ තබා ගනිමින් බව අමාත්‍යවරයා පවසයි.
මේ වසරේ අවස්ථා තුනකදී විදුලි ගාස්තු සංශෝධනය කළ බවත් ඒ අනුව පෙබරවාරි 15 දා සියයට 66කින් ගාස්තු වැඩි කිරීම, ජුලි 01 දා සියයට 14කින් ගාස්තු අඩු කිරීම හා ඔක්තෝබර් 21 දා සිට සියයට 18 ගාස්තු වැඩි කිරීමක් ඒ අනුව සිදුවූ බවද අමාත්‍යවරයා පවසයි.
එසේම 2024 වසරේ සිට කාර්තුමය වශයෙන් විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.