සෑම මොහොතකම ජෝ බයිඩන්ගේ මැතිවරණ ජයග්‍රහණය පෙරළා දැමීමේ ප්රයත්නයත් සමග හුදෙකලා වී සිටින වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට ඉතිහාසයේ මෙතෙක් නොවූ පරිදි තෙවැනි වරටත්, එනම් 2024 දීත් ජනපති තරගයට ඉදිරිපත් වීම ගැන විවෘතව කතා කර තිබේ.
"එය පුදුම සහගත වසර හතරක්. අපි තවත් අවුරුදු හතරක් කරන්න උත්සාහ කරනවා. නැතිනම් අවුරුදු හතරකින් මම ඔබව හමුවෙන්නම්" ඔහු අඟහරුවාදා ධවල මන්දිරයේ නත්තල් සාදයට පැමිණි අමුත්තන්ට පැවසීය.
රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු සහභාගී වූ මෙම උත්සවය මාධ්‍යයට වසා දැමූ නමුත්, ජනාධිපතිවරයාගේ කතාවේ වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්ව ඇත.
නොවැම්බර් 3දා පැවති මැතිවරණයෙන් මසකට ආසන්න කාලයකට පසු 74 හැවිරිදි ට්‍රම්ප් තවමත් තමන් පරාජයට පත්ව ඇති බව පිළිගැනීම ප්‍රතික්ෂේප කරන අතර, නව පරිපාලනය ගොඩනැගීම සමග කාර්යබහුල වී සිටින ඔහුගේ ඩිමොක්රටික් ප්‍රතිවාදියා හොර ඡන්ද දමා ජයග්‍රහණය කර ඇති බව කියයි.
කෙසේ වෙතත් මෙතෙක් මහා පරිමාණ මැතිවරණ දූෂණයක් සිදුව ඇති බවට ට්‍රම්ප්ට හෝ ඔහුගේ නීතීඥයන්ට කිසිදු පැහැදිලි සාක්ෂියක් ඉදිරිපත් කරගත නොහැකි වී ඇති පසුබිමක, ඔහු මෙම මැතිවරණ ප්‍රතිඵලයට එරෙහිව පළ කරන ට්විටර් පණිවුඩවල අඩුවක් නොමැති බවද විදෙස් වාර්තා පවසයි.
එලැඹෙන ජනවාරි 20දා බයිඩන් ඇමෙරිකානු ජනාධිපති ධුරයේ දිවුරුම්දීමට නියමිතව සිටියත්, මෙම අවස්ථාවට ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී නොවනු ඇති බව කියයි. එය මෙතෙක් ඇමෙරිකාවේ ජනාධිපතිවරණ දිවුරුම්දීම් සමග පැවති සම්ප්රදාය වෙනස්වීමක් වන අතරම, ප්රජාතන්ත්රවාදය ගැන ලොවට පාඩම් කියාදුන් රටේ ප්රජාතන්ත්රවාදයක් නොමැති බවට ලොවටම ප්‍රසිද්ධියේ ප්‍රකට වන අවස්ථාවක් බවටද පත්ව තිබේ.