මෙරට වී නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දි (2024) සියයට 4.1කින් ඉහළ ගොස් තිබුනද එම වර්ෂයේ දි සහල් මෙට්‍රික්ටොන් එක්ලක්ෂ තිස්එක්දහස් ,තුන්සියතිස්අටක් (131,338) ආනයනය කොට ඇති බැව් මුදල්,ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.
2023 වර්ෂයේ දි මෙරටට සහල් ආනයනය කොට ඇත්තේ සහල් මෙට්‍රික්ටොන් විසිනමදහස්,හයසියපහක් (29,605) වන අතර ඒ අනුව 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දි සහල් ආනයනය කිරිම සියයට 343.6කින් තියුණු ලෙස ඉහළ ගොස් ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.
2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දි වී නිෂ්පාදනය වී මෙට්‍රික්ටොන් හතලිස්හයලක්ෂ,අනුඅටදහස්,හාරසියපනස්හතරක් (4,698,454) දක්වා සියයට 4.1කින් ඉහළගොස් තිබුණි.වි නිෂ්පාදනය ඉහළ ගියද, එම වර්ෂයේ සහල් මිල විශාල වශයෙන් ඉහළයාම, ඇතැම් සහල් වර්ගවල සැපයුම සීමිතවිම,සහල්මෝල් හිමියන් හා සිල්ලර වෙළදුන් විසින් ඔවුන්ට අවශ්‍ය ආකාරයට වෙළදපොළ හැසිරිවිම, යන හේතු නිසා සහල් ආනයනය කිරිමට රජයට සිදුවි තිබුණි. රජය විසින් 2024 වර්ෂයේ දි පොහොර සහනාධාර සැපයිම සදහා රුපියල් බිලයන 36ක මුදලක් වැයකොට තිබුණි.
යක්කලමුල්ල ජේ.කේ.එල්.චාමින්ද