ලබන වසරේ අපේක්ෂිත රජයේ ආදායම වන රුපියල් බිලියන 3500 ක මුදල උපයා ගැනීමට අදාළ යෝජනා සිය කමිටුවේ දෙවන වාර්තාව මගින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ් මහතා මේ බව සඳහන් කළේ, එළඹෙන වසරේ රජයේ ආදායම් ඉහළ නැංවීමට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේතුවේ නිලධාරීන් උක්ත කමිටුව වෙත පසුගියදා (30) කැඳවූ අවස්ථාවේදීයි. 2023 වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම් ඉපයීම සඳහා ඉහත ආයතන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙල පිළිබඳ මෙහිදි සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන් රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත් වීමට හේතු වූ කරුණු මොනවාද? ඒ සඳහා බලපෑ හේතු අතර පවතින 2019 දෙසැම්බර් 01 වැනිදා සිට බලාත්මක කරන ලද බදු සංශෝධන හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොණු ප්‍රමාණය ලක්ෂ 14 සිට ලක්ෂ 5 දක්වා අඩුවීම සහ එහිදි රජයට අහිමිවූ බදු ආදායම් ප්‍රමාණය පිළිබඳ මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
එමෙන්ම රටතුළ සිදු කෙරෙන නිල වාර්තා රහිත ගෙවිම් (වෛද්‍ය ගාස්තු, නීතිඥ ගාස්තු, උපකාරක පංති ගාස්තු ආදී) හේතුවෙන් සංසරණය වන විශාල මුදලක් පවතින බවත් ඒ සඳහා බදු අය කර ගැනීමේ නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් මෙහිදි අදහස් පළවිය.
මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ ගෝලීය අඛණ්ඩතාවය පිළිබඳ වාර්ෂික වාර්තාව මගින් හෙළිදරව් කරන පරිදි (Annual Report on Global Integrity) මෙරට ආනයන අපනයන ක්‍රියාවලිය තුළ වැඩි මිලක් පෙන්වීම (Over Invoice) හෝ අඩු මිලක් පෙන්වීම (Under Invoice) හේතුවෙන් මෙන්ම ගුවන් යානා මගින් හෝ නැව් මගින්ද විශාල ධනයක් වාර්ෂිකව රටින් පිටවන බවයි.