2023 වසර තුළ උඩරට දුම්රිය මාර්ගයේ ගම්පොල සිට බදුල්ල දක්වා වු කොටසේදී පමණක් දුම්රිය පිලී පැනීම් 18 ක් පමණ සිදුව ඇති බවත්, මෙම වසරේ ගෙවී ගිය දින කීපය තුළදී පමණක් තුන්වරක් දුම්රිය පිලී පැනීමට ලක්ව ඇතැයි දුම්රිය මගීහු කියති.
මෙසේ නිරන්තරයෙන් සිදු වෙමින් පවතින දුම්රිය පීලී පැනීම් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්වෙමින් සිටින බවද උඩරට දුම්රිය මගීහු චෝදනා කරති.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන් පීලී පැනීමට ලක්වුවහොත් විශාල දුරක් දැඩි අපහසුතා මැද බස් රථ ලබා ගැනීමට පා ගමනින් යාමට සිදුවන බවත්, රැගෙන යන ගමන් මලු හා විවිධ බඩු භාහිරාදිය රැගෙන යාමේදී තමන් දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්වෙන බවද ඔවුහු කියති.
විශේෂයෙන් උඩරට දුම්රියන් තුළ විදේශීය සංචාරකයන් බහුල ලෙස ගමන් කරන බවත්, එම විදේශීකයන්ද නිරන්තරයෙන් සිදුවන මෙම පීලී පැනීම් හේතුවෙන් අපහසුතාවයන්ට ලක්වෙමින් පසුවන බවද ඔවුහු සඳහන් කරති.
උඩරට දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් මෙසේ දුම්රියන් පීලී පැනීමට ලක් වෙමින් පැවතීම හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීමට මගීන්, දේශීය හා විදේශීය සංචාරකයන් ද මැළිකමක් දක්වන බවද දුම්රිය මගීහු පවසති.
උඩරට දුම්රිය මාර්ගය නිසි පරිදි නඩත්තු කොට දුම්රියන් පීලී පැනීමට ඇති ඉඩකඩ අසුරා දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දුම්රිය මගීන් වගකියුතු අංශවලින් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
ශාන් හුලංනුගේ
