• අයවැය කාථාව නොවැම්බර් 14 පස්වරු 1.30 ට
• අයවැය තෙවැනි වර කියවීම සඳහා ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනිදා...
2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඒ අනුව නොවැම්බර් 14 වැනිදා පස්වරු 1.30ට ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 15 වැනිදා ආරම්භ කිරීමටද, දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනිදා පස්වරු 5.00 ට පැවිත්වීමටද මෙහිදී තීරණය විය.
විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වන අතර එහි ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනිදා පස්වරු 5. 00 ට පැවැත්වීමටද මෙහිදී එකඟතාවය පළ විය. ඒ අනුව නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා කාලය තුළ ඉරිදා දින සහ පෝය දිනය හැර සතියේ අනෙක් සියලු දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
අයවැය විවාදය පැවැත්වෙන දිනවලදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීම සිදු නොකිරීමට කාරක සභාවේදී තීරණය වූ අතර දෙසැම්බර් 09 වැනිදා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කර ප්‍රශ්න 50ක් ඇසීම සඳහා වෙන් කොට තිබෙන බවද මහලේකම්වරයා පැවසීය.
අයවැය විවාදය පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන අතර පස්වරු 5.30 සිට පස්වරු 6.00 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න හෝ යෝජනා සඳහා වෙන්කොට තිබේ.