2022 යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
2023 මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න හා වී වගාව පිළිබඳ ප්‍රගති සමාලෝචනයක දී ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම කරුණු ඉදිරිපත් විය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළුbනිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විනි.
2022 යල කන්නයේ දී රසායනික පොහොර ලබා දීමට පෙර ගොවි ජනතාව විසින් වගා කටයුතු ආරම්භ කර තිබුනත්, ඒ වනවිටත් වී වගා කර තිබුනේ හෙක්ටෙයාර් 248,000ක පමණි.
නමුත් වත්මන් රජය විසින් ගත් තීරණයක් පරිදි 2022 යල කන්නයේ දී යුරියා පොහොර ලබා දීමට පියවර ගත්තේය. ඒ අනුව ඉන්දීය රජයේ ණය යෝජනා ක්‍රමයක් යටතේ යුරියා මෙට්‍රික් ටොන් 65,500ක් මෙරටට ආනයනය කර ගොවීන් අතර බෙදා දුන්නේය.
ඒ සමගම ගොවීන් නැවත වතාවක් වී වගාව ආරම්භ කළ අතර වී වගා කළ සමස්ත කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් 512,000 දක්වා ඉහළ ගියේය.
සාමාන්‍යයෙන් යල කන්නයේ දී මෙරට වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 04ක් පමණ වුවද වසර 10කට පසු යල කන්නයක දී මෙරට වගා කළ වැඩිම කුඹුරු ප්‍රමාණය 2022 යල කන්නයේ දී වාර්තා විය.
කෙසේ වුවද 2021 මහ කන්නයේ දී රසායනික පොහොර තහනම හේතුවෙන් හා කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා හෙක්ටෙයාර් 01කින් ලබා ගන්නා වී අස්වැන්න ප්‍රමාණය කිලෝග්‍රෑම් 2853ක් දක්වා අවම විය. 2021 මහ කන්නයේ වගා කර තිබෙන සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 775,846කි. නමුත් 2021 මහ කන්නයේ දී මෙරටින් වාර්තා වූ වී අස්වැන්න ප්‍රමාණය මහ කන්නයක දී මෙරටින් වාර්තා වූ අවම වී අස්වනු ප්‍රමාණය වේ.
සාමාන්‍යයෙන් සෑම වසරකම මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් මිලියන 2.5. සිට මිලියන 03ක් දක්වා වී අස්වැන්නක් ලැබුන ද 2021 වසරේ දී මෙරටින් වාර්තා වූ වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.6කි.
එය මහ කන්නයක දී ලැබෙන අස්වැන්නෙන් සියයට 48ක පමණ අඩුවීමකි.
කෙසේ වුවද යල කන්නයේ දී ලබා දුන් යුරියා පොහොර ගුණාත්මකබවින් ඉහළ මට්ටමක පැවතුන හෙයින් කුඹුරු සරුසාර වූ බව ගොවී ජනතාවද පවසති.
මේ අතර දැනට අප රටේ ගොවීන් සතුව කන්න තුනක වී තොග පවතින හෙයින් 2023 යල කන්නයේ දී වී වගාවට අමතරව අතිරේක බෝග වගාවට ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. ඒ යටතේ බඩඉරිඟු, මුං ඇට, මිරිස්, කුරක්කන්, උඳු හා තල වැනි බෝග වර්ග වගා කිරීම සඳහා ගොවි ජනතාවට සහන සැලසීමේ වැඩ පිළිවෙළක් ද ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.