මධ්‍යම වනජීවී කලාපය තුළ පමණක් 2022 වසරේදී කඳුකර කොටියන් හත් දෙනෙකු කම්බි මදුවලට හා වෙනත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මරණයට පත්ව ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
නෝටන්බ්‍රිජ්, තලවකැලේ ටෲප් වත්ත, උඩුදුම්බර, දික්ඔය වනරාජා, නාවලපිටිය වෙස්ට්හෝල්, රාගල හයිෆොරස්ට් සහ බගවන්තලාව යන ප්‍රදේශවල මෙම කඳුකර කොටි මරණ සිදුව ඇති බවද ඔවුහු කියති.
මීට අමතරව ගිය වසරේදී කම්බි මදුවලට හසුව සිටි හා නිවාස තුළ කොටුව සිටි කඳුකර කොටියන් පස් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකියාව ලැබුණු බවද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
2020 වසරේදී කඳුකර කොටියන් 15 ක්ද, 2021 වසරේදී කඳුකර කොටියන් 08 ක්ද මියගොස් ඇති බවත්, සාමාන්‍යයෙන් වසරකට කඳුකර කොටි මරණ අටත් දහයත් අතර ප්‍රමාණයක් මධ්‍යම වනජීවී කලාපය තුළ සිදු වෙමින් පවතින බවද එම නිලධාරීහු පවසති.
මෙරටට ආවේණික වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින ශ්‍රී ලංකා කඳුකර කොටියන් මෙවැනි ආකාරයෙන් මියයාම් තුලින් එම සතුන් ඉතාමත් කෙටි කාලයකින් මෙරටින් තුරන්ව යාමට ඉඩකඩ නිර්මාණය වී ඇතැයිද ඔවුහු සඳහන් කරති.
සතුන් දඩයම් කරගැනීමේ හා ගොවි බිම් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙන්ම ඇතැම් පුද්ගලන් කඳුකර කොටියන් ඉලක්ක කර ගනිමින් මෙසේ මදු හා උඟුල් අටවන බවත්, වනජීවී නිලධාරීන් විසින් අටවා තිබු එවැනි සත්ත්ව මර උඟුල් ගැලවීමේ මෙහෙයුම් සිදු කරන මුත්, එම මදු ගලවන ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් යලි අටවන බවද වනජීවී නිලධාරිහු වැඩිදුරටත් පවසති.
ශාන් හුලංනුගේ


