ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් KPMG ආයතනය විසින් සිදුකල වෝහාරික විගණනයේ හඳුනාගත් මුලික කරුණු අද සවස තමන් වෙත ඉදිරිපත් කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදන්නිකුත් කරමින් ඔහු පවසන්නේ 2022 වසරේදී තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකල පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වෝහාරික පරීක්ෂණය සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දන්වා තිබිණ බවයි.
KPMG ආයතනය සහ ලංකා තෙල් ගබඩා පර්යන්තයේ අභ්‍යන්තර විගණන අංශය විසින් සිදුකල පරීක්ෂණට අනුව,
1. 2010 වසරේ සිට තොරතුරු දත්ත ලක්ෂ 13ක් ප්‍රධාන පද්ධති යෙදුමේන් මකා දමා හෝ වෙනස්කර ඇති බවද, ඉන් බහුතරය 2022 වසරේදී ඉන්ධන අර්බුදය ඇති වූ අවස්ථාවේ සිදුව ඇති බවද
2. 2022 වසරේ සිදුකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලට පසුව 2023 වසර වනවිට එම දත්ත මකා දැමීම් හෝ වෙනස් කිරීම් අඩුවීමක් ඇති වී ඇති බවද
3. 2022 වසරේ ඉන්ධන තොග පවත්වාගෙන යාමේ සහ ගබඩා කිරීමේ අලාභය ලෙස රුපියල් බිලියන 28 ක් වාර්තා කර ඇති බවත් එය 2023 වසර වන විට රුපියල් බිලියන 4 දක්වා අඩුව ඇති බවද
4. පැරණි චක්‍රලේඛ සහ රෙගුලාසි මත මෙහෙයුම් සිදුවන බව සහ ප්‍රමාණවත් දත්ත සහ තොරතුරු නොමැති බව නිරීක්ෂණය වී ඇත.
මෙහි සම්පූර්ණ පරීක්ෂණය වාර්තාව එළඹෙන සතියේදී KPMG ආයතන විසින් ලබාදීමෙන් පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට සහ අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන අතර මෙම වාර්තාව ඉදිරි අවශ්‍ය කටයුතු වෙනුවෙන් කැබිනට් මණ්ඩලයටද, පාර්ලිමේන්තුවටද, විගණකාධිපති දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.