2020 වසරේදී රටේ ණය ප්රමාණය අයවැයෙන් 70%ක මට්ටමකට ගෙන ඒම අරමුණ බවත්, මේ වන විට රටේ ආදායම 10%කින් වර්ධනය කර ඇති බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ (13දා) කුරුණෑගලදී පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, “2020 වන විට ණය ප්රමාණය රටේ අයවැයෙන් 70 කට සීමා කිරීම අපේ අරමුණයි. මේ වන විට රටේ ආදායම අපි 10% න් වර්ධනය කර තිබෙනවා. ඒ අතරම රටේ ජනතාවගෙන් බැනුම් ඇසීමටත් අපට දැන් සිදුව තිබෙනවා.
ජනතාව දෝෂාරෝපණය කළත් රටේ ණය බර පාලනය කිරීමට අපට සිදුවුණා. ඒ වගේම රටට වැඩි වශයෙන් විදේශ විනිමය උපයා ගැනීමටත් අප කටයුතු කරනවා. මේ වන විට රට තුළ විදේශ විනිමය හිඟයක් පවතින නිසා විදේශ ණය ගැනීමට අපට සිදුව තිබෙනවා. මෙම ගැටලුවට විසඳුමක් සොයා ගන්නා තුරු අපට ඉදිරියට යෑමට නොහැකියි.” යැයි පැවසීය.