ශ්‍රී ලංකාවේ අපනයන ඉපයීම්වල කැපී පෙනෙන වර්ධනයක් පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වර්ෂයේදී ඇතිව තිබේ. අරලියගහ මන්දිරයේ පැවැති විදේශ විනිමය ප්‍රවාහ කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ බව හෙළිවිය.මෙරට නිෂ්පාදන අපනයනය කිරීම හා සේවා සැපයීම මඟින් විදෙස් විනිමය ඉපැයීම පිළිබඳ 2021 වසරේ අගෝස්තු දක්වා ලබා ඇති ප්‍රගතිය සහ එය තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි බලපා ඇති ගැටලු පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
ඒ අනුව රෙදි පිළි හා ඇගළුම්, තේ, රබර් සහ රබර් නිෂ්පාදන, පොල් හා පොල් ආශ්රිත නිෂ්පාදන, ඉංජිනේරු නිෂ්පාදන, වෙනත් අපනයන බෝග, මැණික් හා ස්වර්ණාභරණ සහ මුහුදු ආහාර ඇතුළු වෙළෙඳ භාණ්ඩ අපනයනයේ දී ළඟා කරගෙන ඇති ඉලක්කයන් පිළිබඳව මෙහි දී විමසා බැලීය.
ඒ අනුව පසුගිය වර්ෂයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ලද ආදායමේ මාසික සාමාන්‍යය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 840 ක් වූ අතර 2021 වසරේ මුල් මාස 8 තුළ එය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 986 ක් දක්වා වර්ධනය කරගෙන ඇති බව මෙහි දී අනාවරණය විය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුව ද මේ වන විට රබර් සහ රබර් නිෂ්පාදන, ඉංජිනේරු නිෂ්පාදන අපේක්ෂිත ඉලක්කයන් සාර්ථකව ළඟා කරගෙන ඇති අතර අනෙක් අංශයන් ද කාර්ය සාධන මට්ටමට සමීප ව පවතී. අපනයන ඉපැයීම් 2021 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාල කාලපරිච්ඡේදය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 7886 ක මට්ටමකට වර්ධනයට වූ අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂ්ව 22.4% ක ඉහළ යාමකි.
ඒ ඒ අංශයන් වසංගතය හමුවේ මුහුණ දෙන ගැටලුකාරී තත්වයන් පිළිබඳව කරුණු ඉදිරිපත් වූ අතර ඒවා කළමනාකරණය කර ගනිමින් අදාළ කාර්ය සාධන මට්ටමට ළඟා වීමට අවශ්‍ය විසඳුම් පිළිබඳව ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.