පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා අර්බුධයට මුහුණ පෑ රට නිවැරදි මාර්ගයට ගෙන ඒමට ප්රතිසංශෝධිත අයවැය මගින් පියවර ගෙන තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දර්ශනය එක් කණ්ඩායමක් වෙනුවෙන් ඉලක්ක කරගත් එකක් නොව, එය සමස්ථ මහජනතාව නගා සිටුවීම වෙනුවෙන් සැකසුනු එකක් බව හෙතෙම සඳහන් කළේය.
කොළඹදී අද (30) මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා තවදුරටත් මෙසේද පැවසීය.
“පසුගිය ආණ්ඩුවේ වැරදි ආර්ථික ක්‍රියාපිළිවෙත නිසා රට විශාල අර්බුධයකට ගමන් කළා. රටේ සමස්ථ මහජනතාව මේ නිසා දැඩී පීඩාවකට පත්වුණා. තමන්ට දැනුණු ඒ පීඩනය නිසා ජනතාව පාරට බහින්න පටන් ගත්තා.
රට පෝලිම් යුගයකට නැවත ගමන් කළා. භාණ්ඩ හා සේවා මිල විශාල ලෙස ඉහළ ගියා. ඇතැම් භාණ්ඩ මිලදී ගැනීමට පවා නොහැකි තත්ත්වයකට ජනතාව පත්වුණා. නමුත් දැන් ඇති වී තිබෙන මේ තත්ත්වය මත පාරිභෝගික අධිකාරියට භාණ්ඩ මිල පහළ දැමීමට හෝ පාලනය කිරීමට කිසිඳු හැකියාවක් නැහැ. භාණ්ඩ මිල නැවත යථා තත්ත්වයට පත් කිරීමට නම් ආර්ථිකය නැවත සමතුළිත කිරීමට අත්‍යාවශ්‍යයයි.
ආර්ථීකය සමතුලිත කිරීමට නම් අහස උසට ගිය ඩොලරයේ මිල ක්‍රම කුමයෙන් පහළට ගැනීමට පියවර ගත යුතුව තිබෙනවා. අනෙක් අතට නැවත රට යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන 6 කවත් සොයගත යුතු බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශකර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පුද්ගලයින් සහ ආයතන සමඟ මේ වනවිට සාකච්ඡා පවත්වමින් තිබෙනවා.
දැනට රටේ තිබෙන ව්‍යාපාර පදනම් කරගෙන යම් කිසි කෙනෙක් අයුතු ලාභ ලබනවා නම් ඒ අයුතු ලාබ ලැබීම පාලනය කිරීම සඳහා රජය විසින් නව නීතීරීතී ගෙන ආ යුතුව තිබෙනවා. ඒ අයුතු ලාභ ලබාගත් අයගේ විශේෂ සහයෝගයක් රටේ සියලු මහජනතාව වෙත ලබාදිය යුතුයි. ඒ අයුතු ලාභ රජය සතු කරගෙන ඒ අයුතු ලාභ නැවත ජනතාව සතු කරන්න තිබෙනවා. රජයක් විදිහට රටේ ධනවතුන් ආරක්ෂා කිරීම වරදක් නොවේ, නමුත් ඒ ආකාරයෙන්ම රටේ සමස්ථ මහජනතාවම ආරක්ෂා කළ යුතුව තිබෙනවා. ඒ නිසා එවැනි ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමට මේ ප්රතිසංශෝධන අයවැය පිටවහලක් වේවී කියා මා සිතනවා.
නිවැරදි බදු අය කරගැනීමේ ක්‍රමවේදයක් 2019 වනවිට රටේ ක්‍රියාත්මක කර තිබුණා. ඒ බදු ක්‍රමය නිසා තමයි ජනතාව ඉතා පහසු මිලකට පෙට්ට්‍රල්, ඩීසල්, භුමිතෙල් වගේම ගෑස් මිලදී ගත්තේ. මේ බදු ක්‍රමය නිසා රටේ සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයින් අපේ රජයත් සමඟ අමනාප වුණා. ඔවුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධව පෙළ ගැසුණා.
රටේ සිටින ව්‍යාපාරිකයින් තමන්ගේ සේවකයින් කැඳවලා කිව්වා මේ රජය හරි යන්නේ නැහැ, ඔවුන් අපෙන් විශාල ලෙස බදු මුදල් අය කරනවා ඒ නිසා මේ රජය පාලන යන්ත්‍රෙයන් ඉවත් කළ යුතුයි කියලා. නමුත් රටේ සිටින සමස්ථ මහජනතාවට අවබෝධයක් තිබුණේ නැහැ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා බලාගත්තේ රටේ සිටින සමස්ථ මහජනතාවම කියලා.
2019 දී පත්වු ආණ්ඩුව මෙන්න මේ බදු ප්‍රතිපත්තිය වෙනස් කළා. පසුගිය රජය කළ මේ ක්‍රියාදාමය නිසා ජනතාව විශාල පීඩනයකට පත්වුණා. මෙන්න මේ කරුණු නිසා මහජනතාව ඉතා කල්පනාවෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. තමන්ගේ ස්වාමීයා මොනා කිව්වත් එහි සිටින සේවකයින් මේ දේවල් ඉතා කල්පනාවෙන් සිතා බැලිය යුතුයි. මේ රටේ සිටින ව්‍යාපාරිකයින් සහ දේකෝටි විසි ලක්ෂයක් වන ජනතාව සමතුලිතතාවයෙන් යුතුව වැඩ කළ යුතුව තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන්නේ ඉතාමත් හොඳ සමාජවාදී ජනාධිපති කෙනෙක්. ඔහුගේ සිතුම් පැතුම් සහ ඔහුගේ ආර්ථික දර්ශනය තිබුණේ සමස්ථ මහජනතාව නගා සිටුවීම වෙනුවෙන්. ඔහුගේ ආර්ථික දැක්ම එක කණ්ඩායමක් වෙනුවෙන් පමණක් ක්‍රියාවට නැංවුවේ නැහැ. පාලකයින් යම් කිසි පිරිසක් වෙනුවෙන් පෙනී සිටියොත් රටේ සමස්ථ මහජනතාව පීඩාවට පත්වෙනවා. සියලු දෙනා අතර සමතුලිතතාවයක් ඇති කිරීම තමයි අයවැයක් තුළින් සිදුකළ යුතුව තිබෙන්නේ. 2019 න් පසුව සිදුනොවූ ඒ කාරණය මේ ප්රතිසංශෝධන අයවැය තුළින් යළි ක්‍රියාවට නංවන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කරනවා.“