2017 වසරේ සිට 2020 දක්වා ශ්‍රී ලංකා රජය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 15,000ක ණය ප්‍රමාණයක් ගෙවීමට තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) පැවසීය.
ඒ අනුව 2017 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 4,088ක්ද, 2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 4,164ක්ද, 2019 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3,743ක්ද, 2020 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3,209ක්ද ගෙවීමට තිබෙන බව අගමැතිවරයා පවසා සිටියේය.
රටටම පැටවී ඇති අධික ණය බර හේතුවෙන් රටේ සම්පත්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ණය ලෙස ආපසු ගෙවීමට යොදාගැනීමට සිදුව තිබෙන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙම අර්බුදයෙන් මිදීම සඳහා අයවැය පරතරය අවම කරගනිමින් සහ රටේ ණය බර අඩුකර ගැනීමේ මූල්‍ය ඒකාබද්ධකරණ වැඩිපිළිවෙළක් අවශ්‍ය වී ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය. මේ වනවිට 2017-2020 කාලය තුළ ක්රියාක්මක කිරීම සඳහා කඩිනම් ආර්ථික වැඩපිළවෙළක් සකස් කරමින් තිබෙන බවත්, ඒ සම්බන්ධව ජනාධිපති හා ආර්ථික කළමනාකරණ කමිටුව සමග සාකච්ඡා කළ බවද අගමැතිවරයා පවසා සිටියේය.
2020 වසරේදී ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 6,000 දක්වාත්, සෘජු විදේශ ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියන 05 දක්වාත්, අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 20 දක්වාත්, බදු ආදායම දළ දේශීය ආදායමින් 15%ක් දක්වාත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයිද හෙතෙම පැවසීය.