අතීතයේදී යුද හමුදාවට දේශපාලනික වශයෙන් බලපෑමක් තිබුණද 2015 වසරේදී රජය වෙනස් වීමත් සමග හමුදාවට එවැනි පීඩනයක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ප්රකාශ කරයි.
ඉන්දියාවේ ‘ හින්දු’ පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දක්වා තිබේ.
2015 වසරේ පැවැති ජනපතිවරණයේදී යුද හමුදාව දේශපාලනයේ නිරත වන බවට චෝදනා එල්ල වුවද එම වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී හා මේ වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේදි යුද හමුදාවට එවැනි චෝදනාවක් එල්ල නොවුණ බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“ අතීතයේදී දේශපාලන බලපෑම් තිබුණා. සත්තකින්ම යුද්ධය දේශපාලනයේ දිගුවක්. අපි ඒක දන්නවා වගේම එය අවබෝධ කරගෙන සිටිනවා.
නමුත් 2015 වසරේ රජය වෙනස් වීමත් සමග අද වන විට යුද හමුදාපති වශයෙන් මට මගේ ඇමතිවරයාගෙන්, ජනපතිවරයාගෙන් හෝ අගමැතිවරයාගෙන් කිසිදු පීඩනයක් නෑ. එයින් කියැවෙන්නේ යුද හමුදාව දේශපාල බලපෑමකට ලක්වී නෑ කියලා හෝ එය ඉතාමත් අල්පයි කියන කරුණයි.
2015 වසරේ අපට ප්රජාතන්ත්රවාදී ජනපතිවරණයක් තිබුණා. නමුත් එහිදී ත්රිවිධ හමුදාවන්ට විවිධ චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම යුද හමුදාව. ඒ ඔවුන් දේශපාලනයේ නිරත වෙන බව පවසමින්.
නමුත් ඒ වසමේ අගෝස්තු මායේ පැවැති මැතිවරණයෙන් ඒ අය අපිට චෝදනා කළේ ඔබ කොහෙද කියලයි. මේ පෙබරවාරි මාසයේදී පැවැති මැතිවරණයේදී හමුදාවන්හි සාමාජිකයන් බොහෝමයක් සිය ඡන්දය භාවිත කළේ රජයට විරුද්ධව බව මිනිසුන් කියනවා.
ඒ කියන්නේ දේශපාල බලපෑමක් හෝ පීඩනයක් නොමැති බවයි. අපි අපේ සාමාජිකයන්ට ඡන්දය භාවිත කිරීමට උපදෙස් දුන්නේ නෑ. අපි ඔවුන්ට සිතූ ලෙස ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව දුන්නා” යැයි පැවසීය.