• ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් බෙදී ඇති ආකාරය අපැහැදිලි බැවින් මෙම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ගැටලු ඇතිවිය හැකියි - කෝප් කමිටුව
• පසුගිය කාලසීමාවේ පැය 18 පමණ විදුලිය කප්පාදු කිරීමට සිදු වූයේ පද්ධතියේ ගැටලුවක් නිසා නොව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තිබූ ණය ගෙවාගන්න බැරි වූ නිසා - නිලධාරීන්
• පුත්තලම ගල් අඟුරු ව්‍යාපෘතිය වෙනුවෙන් රු. මිලියන 124.30 ක් වැයකොට මිලදීගත් වාහන 6ක් කොන්ත්‍රාත්කරු විසින් මේ වන විටත් ලබාදී නැති බව අනාවරණය වෙයි.
• ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදලේ රීතිවලට පටහැනිව රු. මිලියන 64 අධ්‍යාපන ණය සහ රු. මිලියන 6,618.3 දේපල ණය ලෙස 2024 වර්ෂය තුළදී ලබාදී ඇති බව අනාවරණය වේ.
• අභ්‍යන්තර විගණක ලෙස වැඩබලන නිලධාරියෙක් මාස 11ක් තිස්සේ රාජකාරී අවරණය කරමින් සිටීම ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය.
2015 වර්ෂය හැර 2014 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රු. මිලියන 594,368 ක් බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.
මේ පිළිබඳ අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී විගණකාධිපති වාර්තා පදනම් කරගනිමින්, කෝප් කමිටුව පෙන්වා දුන්නේ මෙම අලාභ ලැබීමට හේතු ගණනාවක් පවතින බවත්, ඉන් ප්‍රධාන හේතුවක් ලෙස ආයතනයේ සේවකයන් සිටියදී ඇතැම් මෙහෙයුම් කටයුතු බාහිරින් ලබාගැනීම හේතුවී ඇති බවත් ය. මෙලෙස අඛණ්ඩව අලාභ ලැබීම හේතුවෙන් 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ විශාල ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කිරීම සිදු කොට ඇති බවත් මේ නිසා ජනතාව දැඩි අසීරු තත්ත්වයකට පත්ව ඇති බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දෙන ලදි. නමුත් 2023 වර්ෂයෙන් පසුව විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බව ද මෙහිදී අනාවරණය විය.
පසුගිය කාලසීමාවේ පැය 18ක් පමණ විදුලිය කප්පාදු කිරීමට සිදු වූයේ පද්ධතියේ ගැටලුවක් නිසා නොව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට තිබූ ණය ගෙවාගැනීමට නොහැකි වූ බැවින් බව මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. කාරක සභාවේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් විමසීමෙන් අනතුරුව නිලධාරීන් මේ බව පැවසූ අතර මෙහිදී කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ 2014 වර්ෂයේ සිට ප්‍රමාණවත් ආකාරයෙන් විදුලි බිල සංශෝධනය නොකිරීම හේතුවෙන් එක්වරම විශාල විදුලි බිල වැඩි කිරීමක් සිදුව ඇති බව පැහැදිලි වන බවයි. මේ නිසා ජනතාව දැඩි අපහසුතාවට පත් වී ඇති බවත් විදුලි බිල වැඩිකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් අනතුරුව පැය 24ම විදුලිය ලබාදීම සිදු කර ඇති බව නිරීක්ෂණය වන බවත් හෙතෙම පැවසීය.
එසේම එල්.ටී.එල්. සමාගමේ කොටස් බෙදී ඇති ආකාරය අපැහැදිලි බවත් මෙම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මේ තත්ත්වය ගැටලුවක් විය හැකි බවත් කෝප් කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය. එල්.ටී.එල්. සමාගමේ කොටස් (ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගම), වෙස්ට් කෝස්ට් ආයතනය සහ ඊසොට් (Esot) සමාගම යන ආයතනවලට බෙදී ඇති කොටස් ප්‍රමාණය සහ ඒවායේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බව මෙහිදී සභාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය. කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ද මෙහිදී පැවසුවේ මෙම කොටස් බෙදීම සහ ක්‍රියාකාරීත්වය ඉතාම අපැහැදිලි බවයි. මේ නිසා මෙය පැහැදිලි කර ගැනීමට නීති අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන් ඉක්මනින් කටයුතු කළ යුතු බවද කාරක සභාව පෙන්වා දෙන ලදි. එසේම ඔක්තෝබර් මස 24 වැනිදා එල්.ටී.එල්. සමාගම කෝප් කමිටුවට කැඳවීමටද මෙහිදී තීරණය කෙරිණි.
පුත්තලම ගල් අඟුරු ව්‍යාපෘතිය වෙනුවෙන් රු. මිලියන 124.30 ක් වැයකොට මිලදීගත් වාහන 6ක් කොන්ත්‍රාත්කරු විසින් මේ වන විටත් ලබාදී නැති බව ද මෙහිදී අනාවරණය විය. අදාළ ගිවිසුමට අනුව ව්‍යාපෘතිය අවසන් වීමෙන් අනතුරුව මෙම වාහන විදුලිබල මණ්ඩලයට පවරා දිය යුතු උවද තවමත් එම වාහන විදුලිබල මණ්ඩලයට පවරා නොතිබුණි. මේ අනුව මෙහිදී පොදු දේපල අවභාවිත වීමක් සිදුව ඇති බවත් මේ නිසා මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසත් කාරක සභාව නිර්දේශ කරන ලදි.
එසේම ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ථසාධක අරමුදලේ රීතිවලට පටහැනිව රු. මිලියන 64 අධ්‍යාපන ණය සහ රු. මිලියන 6,618.3 දේපල ණය 2024 වර්ෂය තුළදී ලබාදී ඇති බව ද මෙහිදී අනාවරණය විය. මේ අනුව නියමිත ක්‍රමවේදයෙන් බැහැරව අධ්යක්ෂ මණ්ඩලයේ, කම්කරු කොමසාරිස්වරයාගේ සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමතියෙන් තොරව සහ 2003 අර්ථසාධක අරමුදල් රෙගුලාසිවල සංශෝධන ගැසට් නිවේදයක් හරහා ප්‍රකාශයට පත් නොකර මෙම ණය ලබාදී තිබුණි.
තවද අභ්‍යන්තර විගණක ලෙස වැඩබලන නිලධාරිනියක් මාස 11ක් තිස්සේ රාජකාරී අවරණය කරමින් සිටීම ගැන කෝප් කමිටුව සිය අප්‍රසාදය පළ කරන ලදී. විශේෂයෙන්ම විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් සථිර අභ්‍යන්තර විගණකවරයෙක් නොසිටීම කණගාටුවට කරුණක් බව කාරක සභාව පෙන්වා දෙන ලදී. මෙහිදී නිලධාරීන් පැවසුවේ මෙම තනතුර සඳහා බඳවාගැනීමට සම්මුඛ පරීක්ෂණ ඉදිරියේදී පවත්වන බවයි.
මීට අමතරව අනුමතියකින් තොරව ලබාදුන් දීමනා කිහිපයක් සම්බන්ධයෙන්ද කමිටුවේ අවධානය යොමු වූ අතර මෙහිදී අනාවරණය වූයේ සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සහ කළමනාකරන සේවා දෙපාර්තමේන්තුවේ අනුමතියකින් තොරව 2008 අප්‍රේල් 09 වන දින අමාත්‍යමණ්ඩලය විසින් අනුමත කරන ලද දීමනා ලැයිස්තුවට ඇතුළත් නොවූ දීමනා සඳහා 2023 වර්ෂයේදී රු. මිලියන 507.47 ක් ගෙවා තිබූ බවයි. එසේම වෘත්තීය දීමනාවට හිමිකම් ඇති නිලධාරීන්ට රඳවා ගැනීමේ දීමනාව නොගෙවිය යුතු වුවත්, වෘත්තීය දීමනාවට හිමිකම් ඇති නිලධාරීන් 517 දෙනෙකු සඳහා 2023 වර්ෂය සඳහා රඳවා ගැනීමේ දීමනාව ලෙස රු. මිලියන 99.85ක් ගෙවා තිබූ බව මෙහිදී කාරක සභාව පෙන්වා දෙන ලදි. මේ සම්බන්ධයෙන්ද අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් කාරක සභාව නිර්දේශ නිකුත් කිරීම මෙහිදී සිදු විය.
