2010ට පසුව උපන් දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර කරන්න සංකල්ප පත්‍රිකාවක්
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් දුම්කොළ ආශ්රිත නිෂ්පාදනවලින් අනාගත දරු පරපුර මුදා ගැනීම සඳහා විද්‍යාත්මක පදනමකින් යුතු වැඩපිළිවෙළක් සකස් කර ඇත.
ඒ අනුව 2010 වර්ෂයෙන් පසු මෙරට උපන් සියලුම දූ දරුවන් දුම්කොළ භාවිතයෙන් තොර පරපුරක් බවට පත් කිරීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සකස් කරන ලද “Tobbaco Free Generation” සංකල්පය සඳහා වන නිර්දේශ ඇතුළත් යෝජනාවලිය සහිත සංකල්ප පත්‍රිකාව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක සහ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එල්.එල් අමිල ඉසුරු යන මහත්වරුන් විසින් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කරන ලදි.
මේ සමගම දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පනත යාවත්කාලීන කිරිම සඳහා අවශ්‍ය වන සංශෝධන සඳහා වන අදාළ නිර්දේශ ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත බාරදෙන ලදක් අතර, මෙම අවස්ථාවන්ට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා ද එක්ව සිටියහ.
දුම්කොළ සහ මධ්‍යසාර නිසා සිදුවන සමාජ ව්‍යසනය අවම කිරීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ අනෙකුත් වෛද්‍ය ක්ෂේත්රයට අයත් විද්වත් වෘත්තික සංවිධානය මෙන් ම රාජ්‍ය නොවන ආයතන සහ අනෙකුත් වගකිව යුතු ආයතන දුම්කොළ හා මධ්‍යසාර හේතුවෙන් සිදුවන හානිය අවම කිරිම සඳහා ගතයුතු ඉතා වැදගත් පියවර 02 ක් පෙන්වා දී ඇත.
ඉන් පළමු වැන්න දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පනතේ පවතින රෙගුලාසි යාවත්කාලීන කිරිම සඳහා සංශෝධන රැගෙන ඒම වන අතර, දෙවැන්න “දුම්කොළ රහිත අනාගත පරපුරක්” යන සංකල්පය යටතේ එක්තරා වයස් සීමාවකින් පසු උපත ලබන සියලුම පුද්ගලයින්ට දුම්කොළ හා දුම්කොළ නිෂ්පාදන සඳහා වන ප්‍රවේශය අහිමි කිරිම සහ තහනම් කිරිමයි. ලෝකයේ බොහෝ රටවල් ද මෙම නීතිය සම්මත කරගෙන ඇත.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් දුම්කොළ නිෂ්පාදන සඳහා වන ප්‍රවේශය අහිමි කිරීම සහ තහනම් කිරීම උදෙසා සිදු කරන කැපවීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අතර, දුම්කොළ සහ මධ්‍යසාර දූ දරුවන්ට වඩා සෞඛ්‍ය සම්පන්න ඉදිරි අනාගතයකට පියනැගීම සඳහා වන බාධාවක් බව ද පෙන්වා දෙන ලදි. පනතේ විශේෂ අවස්ථා සහ සංශෝධන පිළිබඳව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා දැනුවත් කිරීමට ද මෙහි දී අමාත්‍යවරයා කටයුතු කරන ලදි.
මෙම අවස්ථාව මෙරට ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් සහ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් ලෙස තමා දකින බවත්, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ඇතුළු අංශ රැසක් මෙම කර්තව්‍ය අවසන් අධියර දක්වාම රැගෙන යාමේ දැවැන්ත අධිෂ්ඨානයක සිටින බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙහි දී අමාත්‍යවරයාට පැවැසීය.
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පෙන්වා දෙන ලද්දේ මෙරට සිදුවන මරණවලින් සියයට 80 කට ආසන්න ප්‍රමාණයක් බෝනොවන රෝග නිසා සිදු වන බවයි. එම මරණවලට ප්‍රධාන හේතුව දුම්කොළ සහ මධ්‍යසාර නිෂ්පාදන බව ද පැවැසීය.
ලෝකයේ වර්ෂයකට මිලියන 80 කට ආසන්න ප්‍රමාණයක් දුම්කොළ නිෂ්පාදන භාවිතය නිසා මියයන බවත්, මේ අතරින් මිලියන 70 කට ආසන්න ප්‍රමාණයක් සෘජු දුම්කොළ නිෂ්පාදන නිසාත් සියයට 10 ක් පමණ අක්‍රීය දුම්පානය නිසා මිය යන බවද පෙන්වා දෙන ලදි. මධ්‍යසාර භාවිතය නිසා ද විශාල ජිවිත ප්‍රමාණයක් අහිමි වනවා මෙන් ම සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණදීමට සිදුව ඇති බව ද පෙන්වා දෙන ලදි.
ශ්‍රී ලංකාව ද දුම්කොළ හා මධ්‍යසාර නිෂ්පාදන භාවිතය හේතුවෙන් සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් මෙන් ම පුළුල් සමාජමය බරපතළ ගැටළු රැසකට පත්ව ඇති බවත්, මෙරට දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව 22,000 කට ආසන්න බව ද පෙන්වා දුනි. දුම්කොළ හා මධ්‍යසාර වෙනත් මත්ද්‍රව්‍ය සඳහා වන පළමු ප්‍රවේශය බව ද මෙහි දී ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.
මෙම අවස්ථාවට සහභාගි වූ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එල්.එල් අමිල ඉසුරු මහතා පෙන්වා දෙන ලද්දේ දුම්කොළ සහ දුම්වැටි නූතන මානව වර්ගයාට බලපාන ඉතා භයානක සෞඛ්‍ය අභියෝගයක් බවයි. දූ දරුවන්ට වඩා සෞඛ්‍ය සම්පන්න ඉදිරි අනාගතයකට පියනැගීම සඳහා බලපාන ප්‍රධාන බාධකයක් ලෙස දුම්වැටි හදුනාගෙන ඇති බව ද පාසල් පද්ධතිය තුළ තරුණ දරුවන් අතර දුම්වැටි භාවිතය යම්කිසි ප්‍රමාණයකින් ඉහළ යමින් තිබෙන බව ද පැවසීය.
සෞඛ්‍ය සේවාව සඳහා වෙන් වන මුදලින් වැඩි ප්‍රමාණයක් දුම්වැටි නිසා රෝගී වන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරිමට වැය වන බව ද ලොව පුරා දුම්වැටි භාවිත කරන පිරිසෙන් සියයට එකක් පමණ ප්‍රමාණයක් පමණක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන බවද එබැවින් දුම්වැටි නිසා සමාජයට වන අහිතකර බලපෑම වළකාලීම උදෙසා ඇති හොඳම පිළියම දුම්වැටි සමාජය තුළ බහුලවීම වළක්වාලීම සහ ජනතාව පැමිණීම අවම කිරිම බවද ඒ මහතා පෙන්වා දුන් අතර ඒ සඳහා විද්‍යාත්මක පදනමකින් යුතුව ලොව පුරා යොදා ගන්නා ක්‍රමවේදයක් ලෙස දුම්වැටි ඉදිරි අනාගත දරුවන් වෙනුවෙන් ලබාගැනීමට ඇති අවස්ථාව ඇහිරීම බව ද වැඩිදුරටත් අමාත්‍යවරුන් වෙත කරුණු දක්වන ලදි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
