විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට නියමිත බව 'අද'ට වාර්තා වේ.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එනම් පළමුවර කියවීමෙන් පසුව එහි ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් අභියෝගයට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට පුරවැසියන්ට දින හතක කාලයක් හිමි වේ.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍යවරයා විසින් අද (22දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම ගොනු කිරීමට නියමිත බවද වාර්තා වේ.
මීට අමතරව සිවිල් සංවිධාන සහ පුරවැසියන් කිහිපදෙනෙක්ද මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිත බවද වාර්තා වේ.
මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පනත් කෙටුම්පතක් අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ගොනු වූ විට දින 21ක් ඇතුළත මේ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකරයි.
එලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් නොවුණහොත් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී දෙවැනි වර කියවීමට යොමු කළ හැකිය.
අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක ඡන්දයෙන් එය සම්මත කළ යුතුව ඇත.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 03 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරෙණි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හදුන්වාදුන් බොහොමයක් කරුණු 20 වැනි සංශෝධනය තුළින් සංශෝධනයට ලක්කර තිබු අතර තොරතුරු අයිතිය , ජනාධිපති ධුරය වාර 02 ට සීමා කිරිම සහ පාර්ලිමේන්තුවේ කාලය වසර 05 ට සීමාකිරීම යන කරුණු පමණක් සංශෝධනය කර නොතිබුණි.
20 සංශොධනය හරහා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව වැඩිකිරීම , ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී තනතුරු දැරිය හැකිවී , විගණන කොමිසම ඉවත් කිරීම ආදී මෙම පනත් කෙටුම්පත තුළ ඇතුළත් කරුණු බොහෝමයක් සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් ලක්වූ අතර, මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ මන්ත්‍රී කණ්ඩායමක්ද පත් කරන ලදී.
ඒ අනුව එම මන්ත්‍රී කණ්ඩායමේ නිරීක්ෂණ පසුගියදා අග්‍රාමාත්‍යවරයාට භාරදීමට කටයුතු කර තිබුණු අතර,
අමාත්‍ය මණ්ඩලය , විගණන කොමිසම ආදිය 19 වැනි සංශෝධනය අනුව ක්‍රියාත්මක විය යුතු බව එහිදී ඔවුන් යෝජනාකර තිබුණි.
කෙසේවෙත් 20 වැනි සංශෝධනය සංශෝධන සහිතව සම්මත කර ගැනීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවද ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් පැවසීය.