නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් නිකුත් කර ඇති ගැසට් පත්‍රය හුරතලේට පූස් පැටවකු ගෙනෙන බව කියා කොටි පැටවකු ගෙනාවා හා සමාන සිදුවීමක් බවත්, විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජනය වැළකීම මෙම යෝජනාවලියේ බරපතළ කුමන්ත්‍රණයක් වන බවත් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.
සිය පක්ෂ මූලස්ථානයේ ඊයේ (22දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ අයුතු ලෙස ධනවත් වූ, අසීමිත ලෙස වියදම් කර පාර්ලිමේන්තුවට තේරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන්ගේ තේරී පත්වීම වැළැක්වීමට යෝජිත නව මැතිවරණ ක්රමයද අසමත් වන බවයි.
“ආණ්ඩුව සකස් කර තිබූ නව මැතිවරණ ක්‍රමයට අදාළ සාකච්ඡාවලදී ජ.වි.පෙ.න් අදහස් ඉදිරිපත් කළා. නමුත් එය කැබිනට් මණ්ඩලයෙන් සම්මත වූ බව මාධ්‍ය වාර්තා කළා. දැන් ඊටත් වෙනස් මැතිවරණ ක්‍රමයක් සහිත යෝජනාවලියක් ගැසට් කර තිබෙනවා. මෙය කිසිවෙකු අපේක්ෂා කළ දෙයක් නෙවෙයි. හංගලා ගහපු එකක්. සියලු දෙනාට අවස්ථා නිර්මාණය කළ ක්‍රමයක් නොවේ. මෙයින් බහුපක්ෂ ප්රජාතන්ත්රවාදය අහෝසි කර ද්විපක්ෂ ක්‍රමයක් ඇති කරනවා. දේශපාලන පක්ෂ දෙකකට, පවුල් දෙකකට සීමා වෙනවා. මැතිවරණ ක්‍රමය සකස් කළ යුත්තේ සියලු ජනතාව එකතු කරගැනීමේ අර්ථයෙන් මිස පිටමං කිරීමේ අර්ථයෙන් නොවේ. එය රටේ අනාගතයට බරපතළ අවදානම්කාරී තත්ත්වයක් ඇති කරනවා. එවැනි අවස්ථා ඉතිහාසයේ අපි අත්දුටුවා.
පාර්ලිමේන්තුවේ රහස් හෙළිදරව් වුණේ, මන්ත්‍රී වැටුප, ආහාර දීමනා, තීරුබදු රහිත වාහන බලපත්‍ර ගැන සමාජය දැනගත්තේ ජ.වි.පෙ. නිසයි. ආණ්ඩුවල වංචා, දූෂණ, අක්‍රමිකතා රට දැනගත්තෙත් ජ.වි.පෙ. නිසයි. ඒ නිසා ජ.වි.පෙ. පාර්ලිමේන්තුවෙන් පිටමං කිරීමේ උවමනාව මෙම යෝජනාවට සම්බන්ධ අය තුළ තිබෙනවා.
යෝජිත අලුත් මැතිවරණ ක්‍රමයෙන් දැනට තිබෙන අඩුපාඩු ඉවත් වී නැහැ. ජාවාරම්කාරයන්, කුඩුකාරයන්, හොරුන් අවම වශයෙන් ලැයිස්තු තුළ සිටී නම් ඡන්ද දායකයන්ට එවැන්නන් මඟහැර තෝරාගැනීමක් කළ හැකියි. දැන් නව ක්‍රමය තුළ ආසනය සඳහා පක්ෂයෙන් ඉදිරිපත් කළ ඕනෑම හොරෙකුට ඡන්දය දීමට ඡන්දදායකයාට සිදුවෙනවා. ජ.වි.පෙ.ට ජනතාව තුළ තිබෙන කැමැත්ත සැබෑ ලෙසම පාර්ලිමේන්තුවේ නියෝජනය වීම අවශ්‍යයි. පාලකයන්ගේ පටු බලලෝභී ඕනෑකම් වෙනුවෙන් ගන්නා මෙබඳු තීරණ දිගුකාලීන දැවැන්ත විනාශයක් ගෙනෙනවා. ජනාධිපතිවරයාත් මෙම තත්ත්වය තේරුම්ගත යුතුයි. විශේෂයෙන් අලුත් ක්‍රමයක් අපේක්ෂා කළ ජනතාවගේ උවමනාවලට මුවා වී තක්කඩි අරමුණු ඉටුකරගැනීමට ඉඩදිය නොහැකියි" යැයි කී හෙතෙම ඡන්ද පත්‍රිකා දෙකක් ඉදිරිපත් කිරීමෙන් පවතින අර්බුදයට විසඳුම් ලබාගත නොහැකි බවද අවධාරණය කළේය.