19වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අර්ථ නිරූපණ අනුව ජනමත විචාරණයට තුඩු දෙන වගන්ති ඉවත් කරගැනීමට අග්‍රාමාත්‍යවරයා එකඟවී ඇති අතර සෙසු සංශෝධන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කරගැනීමට නියමිතව තිබේ.
ඒ අනුව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා අගමැතිවරයා වන්නේය යන්න ,අමාත්‍යවරු සංඛ්‍යාව හා ඔවුන්ගේ විෂය පථයන් තීන්දු කිරීම අගමැතිවරයා විසින් සිදුකරන්නේය යන්න සංශෝධනය වී එය ජනාධිපතිවරයා සතු බලතලයක් බවට පත්වනු ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සිය අර්ථ නිරූපණය ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විද්‍යුත් මාධ්‍ය ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විද්‍යුත් මාධ්‍ය ආයතන මැතිවරණ කාලවල නියාමනය සඳහා බලයලත් නියෝජිතයෙකු පත්කිරීම යන්න වෙනුවෙන්ද පාර්ලිමේන්තුවේ 2/3 බලයට අමතරව ජනමත විචාරණයකටද යොමුකළ යුතු බවයි.
මෙහිදී කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස අග්‍රාමාත්‍යවරයාට බලය ලබාදීම හා අමාත්‍යවරුන් පත්කිරීම අදිය සම්බන්ධ කරුණුවලදී එකී බලතල ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාව විසින් බලය ලබාදී ඇත්තේ විධායක ජනාධිපතිවරයාට බැවින් එකී බලතල පැවරීමට ජනමත විචාරණයක් තුළින් ජනතාව විසින් අනුමැතිය ලබාදිය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත.
එසේම මැතිවරණ කාලය තුළ මැතිවරණ කොමිසම මගින් පත්කරන ලද බලයලත් නිලධාරියෙකු මගින් විශේෂයෙන්ම පෞද්ගලික නාලිකා නියාමනය කිරීමට යාමේදී ප්රවෘත්ති සහ අදහස් සමබර වාර්තාකරණයට බාධා එල්ල විය හැකි බැවින් ඒ තුළින් ජනතා පරමාධිපත්‍යයට බලපෑම් එල්ල විය හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත.
කථානායක චමල් රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඊයේ (09දා) පාර්ලිමේන්තුවට දැන්වීය. මීට ප්‍රතිචාර දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනමත විචාරණයක් ඉල්ලා ඇති කොටස් සංශෝධනයට ලක්කොට එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකින් පමණක් සම්මත කරගැනීමට හැකිවන පරිදි කටයුතු කරන බවයි.
රජය මෙය සාමාන්‍ය පනතක් ලෙස ගෙන ඒම මගින් අදාළ පාර්ශ්වවලට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට අවස්ථාව ලබාදුන් බවද අගමැතිවරයා පැවසීය. මෙම සංශෝධනයට අදාළ විවාදය කාරක සභා අවස්ථාවේදී ගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
මේ පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන යන අය පවසා සිටියේ, පනත ඉදිරිපත් කිරීමේදී ව්‍යවස්ථානුකූල ක්‍රියාදාමය උල්ලංඝනය වී ඇති බැවින් අදාළ සංශෝධන සහිතව පනත යළි සකස් කොට ඉදිරිපත් කරන ලෙසයි. කෙසේ නමුදු රජය මෙකී අදහසට එකඟ නොවීය.
මේ අතර ඊයේ (09දා) රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී ලබන 20 සහ 21 යන දෙදින තුළ මෙය විවාදයට ගැනීම සඳහා තීරණය කෙරිණි. ඒ අනුව 20 වැනි දින පෙ.ව. 9.30 සිට ප.ව. 6.30 දක්වාද, 21 වැනි දින පෙ.ව. 9.30 සිට ප.ව. 6.00 දක්වාද විවාදය ගෙන ගොස් අනතුරුව කාරක සභා අවස්ථාව සඳහා යොමුකිරීමට නියමිතය. කාරක සභා අවස්ථාව සඳහා හැකි තරම් කාලය ලබාදීමට රජය එකඟ විය.මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10දා) ශ්‍රී.ල.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවී පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.