(UPDATE) දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරය වෙත පැයට කි.මී.120ක පමණ වේගයෙන් යුතු සුළං සමග වර්ධා සුළි කුණාටුව ඇතුළු වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම සුළි කුණාටුව හේතුවෙන් දැනටමත් ජීවිත දෙකක් අහිමි වී ඇති අතර, අධික වර්ෂාපතනයක්ද ඇද හැලෙමින් පවතින බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.
දකුණු ඉන්දියාවට බලපෑම් කරමින් වර්ධා කඩා වදී
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු හා අන්ද්‍රා ප්‍රදේශ් වෙත වර්ධා සුළි කුණාටුවෙන් බලපෑම් සිදුවන බවට එරට කාලගුණ අංශ අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
මෙම ප්‍රාන්ත දෙක තුළ දැඩි වර්ෂාපතනයක් මෙන්ම, අද (12දා) සවස් වනවිට මෙම සුළි කුණාටුව චෙන්නායි වෙත ඇතුළු වෙන බවද කාලගුණ අංශ පවසයි.
මේ වනවිටත් තමිල්නාඩු ප්‍රාන්තයේ පාසල් හා උසස් අධ්‍යාපන ආයතන වසා දමා ඇති අතර, සහන කණ්ඩායම් කැඳවා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, මෙම ප්‍රාන්ත දෙකෙහිම ධීවරයන්ට අනතුරු ඇඟවීමක් සිදුකරමින්, ධීවර කටයුතුවල නොයෙදී සිටින ලෙස පවසා තිබේ.
බෙංගාල බොක්කේ සිට වර්ධනය වෙමින් පැමිණෙන වර්ධා සුළි කුණාටුව පැයට කිලෝමීටර් 100ක පමණ වේගයකින් චෙන්නායි වෙත ඇතුළු වනු ඇති බව කියැවෙයි.
ඒ අනුව, මෙම ප්‍රාන්ත දෙකෙහිම වෙරළබඩ පළාත්වල අධික වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බව කාලගුණ අංශ පවසයි. මේ වනවිටත් චෙන්නායි ආශ්‍රිතව වර්ෂාපතනයක් පවතින බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මිට වසරකට පෙර චෙන්නායි වෙත බලපෑ දරුණු ගංවතුර තත්ත්වයකින් ජීවිත 70ක් අහිමි කිරීමෙන් පසුව, එම කලාපයට බලපාන දරුණුතම චණ්ඩ මාරුතය මෙය බවද කියැවෙයි.