2016 සංශෝධිත විෂය මාලාවට අනුව 11 වැනි ශ්‍රේණියේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය සඳහා 2016 වර්ෂයේදී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නව පෙළපොත දෝෂ සහිත බව 'අද' ට වාර්තා වේ.
එහි පළමු පරිච්ඡේදය වන තොරතුරු වාර්තාකරණය යටතේ පහළොස් වැනි පිටුවේ ඇතුළත් 1.6 රූපය 'උඩුකුරු පිරමීඩ ආකෘතිය' යැයි දක්වා ඇතත්, එහි ඇත්තේ යටිකුරු පිරමීඩ ආකෘතිය වන අතර, 14 වැනි පිටුවේ 1.5 රූපය යටතේද යටිකුරු පිරමීඩ ආකෘතියක් දක්වා ඇත.
මේ වනවිට පළමු පාසල් වාරය අවසන් වී දෙවැනි පාසල් වාරය ආරම්භ කර ඇති අතර, රූප සටහන සහිත පෙළපොත ළමයන්ගේ භාවිතයේ පවතී. මාධ්‍ය ගුරු භවතුන් පවසන්නේ 1.6 රූප සටහන වැරදි බැවින් එම කොටස අතහැර පෙළපොත භාවිත කරන ලෙස ළමයින්ට උපදෙස් දුන් බවයි.
පෙළපොත සංස්කරණය කර ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිවුදෙනෙකු හා ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු විසින් වන අතර, පෙළපොතේ විෂය අන්තර්ගතය සම්බන්ධයෙන් සංස්කාරක මණ්ඩලය ඍජුවම වගකිවයුතු බවට සන්නිවේදන මාධ්‍ය උගන්වනු ලබන ගුරුවරු ප්‍රකාශ කරති.
පෙළපොත නියාමනය හා අධීක්ෂණය, මෙහෙයවීම සම්බන්ධීකරණය, සහාය සම්බන්ධීකරණය, භාෂා සංස්කරණය වෙනුවෙන්ද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, කොමසාරිස්, සහකාර කොමසාරිස්වරුන්, සංවර්ධන නිලධාරීන් රැසක් සම්බන්ධ වී සිටියද මෙවැනි වැරදි පෙළපොතේ පළවී කනගාටුදායක තත්ත්වයක් බවද සන්නිවේදන ගුරුවරු කියති.
11 වැනි ශ්‍රේණියේ පළමු පෙළපොතේ මෙම පරිච්ඡේදය නම් කර තිබුණේ ප්රවෘත්ති වාර්තාකරණය ලෙස බවත්, නව පෙළපොතෙහි එය තොරතුරු වාර්තාකරණය යනුවෙන් වෙනස් කර තිබීම මාධ්‍ය අධ්‍යාපනයේදී අනුචිත බවත් මේ පිළිබඳව අදහස් දැක්වූ මාධ්‍ය ගුරුවරු කිහිප දෙනෙක් පැවසූහ. ප්රවෘත්ති වාර්තාකරණය යන්නට වඩා තොරතුරු වාර්තාකරණය යන්න පුළුල් මාතෘකාවක් වන බැවින් මෙම පෙළපොත සිසුන්ට වැඩි බරක් පටවා ඇති බවටත් ඔවුහු චෝදනා කරති.