වැඩ වර්ජනයක් ක්රියාත්මක වුවත්, ජනතාවගේ පහසුව සඳහා අද (28දා) බස්රථ ධාවනය කළත්, ලබන 06වැනිදා පැවැත්වෙන හර්තාලයට සහාය පළ කිරීම සඳහා එදිනට බස් රථ සේවයෙන් ඉවත්කර ගැනීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
සමස්ත බස්රථවලින් 25%ත් 30%ත් අතර ප්රමාණයක් අද දිනයේදී ධාවනය කිරීමට කටයුතු කළ බවත්, රට තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය තුළ වැඩිම බලපෑම් එල්ල වී තිබෙන්නේ, බස් හිමියන්ට බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
බස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළද, ඉන්ධන මිල ඉහළ යාම, අමතර කොටස් මිල ඉහළ යාම, සේවක වැටුප් ඉහළ යාම හේතුවෙන් බොහෝ බස්රථ හිමියන්ට ලීසිං වාරික ගෙවීමටවත් ආදායමක් නොමැති තත්ත්වයක් ඇති වී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා ජනතාවට හා බස් හිමියන්ට කඩිනමින් සහන ලැබෙන ක්රමයක් සකස් කළ යුතු බවත්, ලබන 06වැනිදා බස්රථ සේවයෙන් ඉවත් කර ගනිමින් ජනතා අරගලයට සහාය පල කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.