මහවැලි ගංගාවේ වැඩිම දූපත් ප්‍රමාණයකින් යුක්ත හක්කිඳ දූපත් සමූහය (Hakkida Islands) සංරක්ෂිත පරිසර කලාපයක් වශයෙන් නම්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ගන්නෝරුව, ගැටඹේ සීමා මාලකය අසල සිට දොඩම්වල දක්වා මහවැලි ගංගාවට අයත් ප්‍රදේශයේ දූපත් 12කින් යුතුව හක්කිඳ දූපත් සමූහය පිහිටා තිබේ.
මධ්‍යම කඳුකරයේ ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් වන මෙහි දූපත් විස්සක් ඇති අතර, එම කලාපයේ පෞද්ගලික විදුලි බලාගාරයක් ඉදිකිරීමට උත්සාහ කිරීම, අනවසර ගොඩකිරීම් හා අනවසර ඉදිකිරීම්, කැළි කසළ ගංගා රක්ෂිතයට බැහැර කිරීම වැනි කරුණු කිහිපයක් හේතුවෙන් මෙම ස්ථානය විනාශ වීමේ දැඩි අවදානමක් පැවතිණි. එමෙන්ම මෙම කලාපය මේ වනවිට අනවසර ගොඩකිරීම් හේතුවෙන් දූපත් දොළහකට සීමාවී තිබේ.
මහවැලි ගංගාවේ පටුම හා පළලම ස්ථානයන්ද, එම ගංගාවේ වැඩිම දූපත් ප්‍රමාණයක් කෙටි සීමා සහිත ප්‍රදේශයක් තුළ පිහිටා ඇත්තේද මෙම ස්ථානයේ යැයි මෙම ස්ථානය සංරක්ෂණය වෙනුවෙන් ඉදිරිපත්ව කටයුතු කළ මධ්‍යම පළාත් පරිසර සංවිධාන එක්මුතුවේ සභාපති ප්‍රදීප් සමරවික්‍රම මහතා පවසයි.
ලෝකයෙන් තුරන්වූ බව සඳහන් කර තිබුණු කොළගඩයා (Green lebeo) නම් දුර්ලභ මත්ස්‍යා මෙහිදී හමුවී ඇති අතර, එම ජීවියාට ජීවත්වීමට සුදුසු පරිසරයක් මෙම කලාපය තුළ නිර්මාණය වී තිබේ. වසර 2010 වනවිට තුරන්වී ගොස් ඇතැයි සලකන මෙම මත්ස්‍යා හමුවී ඇත්තේ විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා එම ස්ථානයේ සිදුකළ ගල්වෙඩි දැමීම හේතුවෙනි. මෙම මත්ස්‍යා ඉතා ගැඹුරු දියේ ජීවත් වන අතර, එම මත්ස්‍යයාට ජීවත්විය හැකි අඩි 30ක් පමණ ගැඹුරු දිය වළවල්වලින්ද මෙම ස්ථානය සමන්විත වේ.
ශ්‍රී ලංකා කොළගඩයා, ලේල්ලා, ගංආරා, වැනි මධ්‍යම කඳුකරයට ආවේණික මත්ස්‍ය විශේෂයන්ද, කඳු අහිරාවා, ගල් පාඩියා, දංකොළ පෙතියා, තලකොස්සා වැනි ශ්‍රී ලංකාවට ආවේණික මසුන් රැසක්ද මෙම ස්ථානයේ ජීවත් වන බව නාරා ආයතනය වර්ෂ 2013දී කරන ලද සමීක්ෂණයකින් හෙළිව ඇතැයි මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුවේ සභාපති ප්‍රදීප් සමරවික්‍රම පැවසීය.
හක්කිඳ දූපත්වලට පමණක් ආවේණික කෙටල (lagenandra praetermissa), අතිඋඩයන් ඇතුළු ශාඛ විශේෂ කිහිපයකින්ද මෙම දූපත් සමූහය සමන්විත යැයි හෙතෙම ප්‍රකාශ කළේය.
පරිසර සංවේදී කලාපයක් වන නමුත් මෑතක සිට අනවසරයෙන් ඉඩම් අත්පත් කර සංචාරක හෝටල් හා නිවාස ඉදිකිරීම, නාගරික අපද්‍රව්‍ය මහවැලි ගංගාවට බැහැර කිරීම, දූපත් සමූහයට ඉහළ මහවැලි ගංගාවේ ඉවුරු ගොඩකිරීම ඇතුළු අහිතකර කරුණු රැසක් හේතුවෙන් දූපත් සමූහය විනාශ වීමේ අවදානමක් ඇතැයි ප්‍රදීප් සමරවික්‍රම සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම මත මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙම ස්ථානය සංරක්ෂණය කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර, ඒ අනුව මෙහි කිසිදු අනවසර ක්‍රියාවක් සිදුනොකළ යුතු යැයි පරිසරය වෙනුවෙන් නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ශාන්ත රත්නායක මහතා පැවසීය.
මෙහි යම්කිසි මිනිස් ක්‍රියාකාරකමක් සිදුකරන්නේ නම් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අනිවාර්යය අනුමැතිය ලබාගත යුතු යැයිද හෙතෙම පවසා සිටියේය.
පේරාදෙණිය සෙනරත් බණ්ඩාර