කොළඹ ෂැන්ග්‍රීලා හෝටලය ඉදිකිරීම සඳහා තම ආණ්ඩුව විසින් එම ඉඩම ඍජුව විකිණූ බව සඳහන් කරමින් හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීම සාධාරණිකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව හිටපු ජනති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හෝටලයක් ඉදිකිරීම සඳහා අක්කර කිහිපයක් ලබාදීම හා පර්යන්ත 04ක් හා ජැටි 12කින් සමන්විත අක්කර 5000ක කර්මාන්ත කලාපයක්ද සහිත ප්‍රධාන වරායකට සමාන කළ නොහැකි බවත් ඔහු පවසා සිටියේය.
වරාය නගරය ඉදිකිරීමේදීද එහි ඉදිකිරීම් ගාස්තු වශයෙන් සුළු කොටසක් චීනයට ලබාදීමට සිය ආණ්ඩුව තීරණය කර තිබූ බවද මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
“කොළඹ ෂැන්ග්‍රීලා හෝටලය ඉදිකිරීම සඳහා ඉඩම මගේ ආණ්ඩුව විසින් ඍජුවම විකුණුවේ යැයි කීමෙන් හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කිරීම සාධාරණීකරණය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවක් පෙනේ. හෝටලයක් ඉදිකිරීමට යන අක්කර කිහිපය කිසිසේත්ම පර්යන්ත 4ක් හා ජැටි 12ක් පමණක් නොව අක්කර 5,000ක කර්මාන්ත කලාපයක්ද සහිත ප්‍රධාන වරායකට සමාන කළ නොහැකිය.
එමෙන්ම ෂැන්ග්‍රීලා ඉඩමට හම්බන්තොට වරාය මෙන් උපාමාර්ගික වැදගත්කමක්ද නැත. තවද, ෂැන්ග්‍රීලා ඉඩම ආණ්ඩුවේ සංවර්ධන සැලැස්මට අනුව හෝටලයක් සඳහා මිස වෙනත් ප්‍රයෝජනයකට ගත නොහැකි බවට කොන්දේසියක්ද විය. කොළඹ වරාය නගරයෙන්ද ඉඩමක් මගේ ආණ්ඩුවෙන් චීනයට ලබාදුන් බවද මේ ආණ්ඩුවෙන් කියයි.
වරාය නගරය යනු, ලංකාවේ දැනට තියෙන ඉඩමක් නොව මහ මුහුද ගොඩකර තැනූ අලුත් ඉඩමකි. මෙතැන අලුතින් ඉඩමක් නිර්මාණය කර ඉන් ඉතාමත්ම සුළු කොටසක් ඉදිකිරීම් ගාස්තු වශයෙන් අදාළ සමාගමට ලබාදී මේ ව්‍යාපෘතිය සඳහා ලංකාවට සතපහක්වත් ගෙවීමට සිදු නොවෙන ආකාරයට මගේ ආණ්ඩුව ගිවිසුමකට එළඹ තිබුණි.
චීන සමාගමට ලැබෙන ඉඩමද ඔවුන්ට සංවර්ධනය කිරීමට සිදුවන්නේ ලංකාවේ නීතියට යටත්වය. එපමණක්ද නොව, වරාය නගරයේ ඉඩම් උපායමාර්ගික වටිනාකමක් ඇති ඉඩම් නොව තනිකරම වාණිජ ඉඩම්ය. මගේ ආණ්ඩුව විදේශිකයන් හා විදේශීය සමාගම් ලංකාවේ ඉඩම් මිලදී ගැනීම සීමා කරමින් 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත සම්මත කළ බවද, වත්මන් ආණ්ඩුව ඒ පනවා තිබූ සීමා කිරීම් 2017 අංක 3 දරනි සංශෝධන පනතකින් ඉවත් කළ බවද කවුරුත් මතක තබාගත යුතුය. මගේ ආණ්ඩුව කළේ අලුත් දේවල් ඉදිකිරීමය. වත්මන් ආණ්ඩුව කරන්නේ, මගේ ආණ්ඩුවෙන් නිර්මාණය කළ දේවල් විකුණා ජීවත්වීමයි.” යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.