ශ්‍රී ලංකාව සැබවින්ම තවදුරටත් සුද්දාට යටත් නොමැති නිසා අඩුම තරමින් බුදු දහම වෙත ආණ්ඩුවට බලපෑම් කිරීමට නොහැකි වන සේ විහාර දේවලගම් ආඥා පනතේ නීතිය සංශෝධනය කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
හෙතෙම මේ බව පවසා සිටියේ අද (04දා) පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා,
"මේ වනවිට රන්ගිරි දඹුළු විහාරයේත්, බේරුවල කන්දේ විහාරයේත් පිං කැටවලට සීල් තබලා. තවත් විහාර ගණනාවක එසේ පිං කැට සීල් තබලා ඇති බවට තහවුරු නොවුණු ආරංචි මාර්ග පවසනවා. ඒවා මම වෙබ් අඩවි වලිනුයි දැක්කේ. නමුත් අර පන්සල් දෙකේනම් විහාරාධිපති, විහාරාධිකාරී ස්වාමීන්වහන්සේලා තහවුරු කර තිබෙනවා සීල් තබා ඇති බවට.
ඒ වගේම පෙරේදා අස්ගිරි කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා රැස්වුණාම එක කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේ නමක් දැනුන් දුන්නා උන්වහන්සේගේ පන්සලට පොලීසියෙන් ඇවිල්ලා මේ පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ නම් මොනවද, දුරකතන අංක මොනවද ආදී වශයෙන් ප්‍රශ්න කරාල තොරතුරු ගත් බවට.
අපරාධයක් පිළිබඳ පැමිණිල්ලක් නැතුව කිසිම පදනමක් නැතුව පන්සලේ මෙහෙම තොරතුරු හොයන්න පොලීසියට කිසිම නීත්‍යානුකූල අයිතියක් නෑ. මේ කරන්නේ භික්ෂුන් වහන්සේලා බිය වැද්දීම. මේ ආණ්ඩුවේ මර්ධනකාරී බෞද්ධ විරෝදී වැඩපිළිවෙලට එරෙහිව මහා සංඝරත්නය අභීතව නැගී සිටිම කඩා කප්පල් කිරීමේ කූඨ අරමුනින් අද පොලිසීය සහ රාජ්‍ය යාන්ත්‍රනය ඒකාබද්ධ විපක්ෂය ,ශිෂ්‍ය ව්‍යාපාර, වෛද්‍ය ප්‍රජාව, මර්ධනය කළ අයුරින්ම මහා සංඝරත්නයත් මර්දනය කිරීමටත් යොදා ගනිමින් සිටිනවා.
බුද්ධ ශාසන කොමසාරිස් ලැජ්ජා නැතුව කියනවා විහාර සහ දේවාලගම් ආඥා පනත යටතේ තමන්ට තිබෙන බලතල පාවිච්චි කරලා තමයි පිං කැට සීල් තබන්නේ කියලා. ඔව් එහෙම බලයක් නම් තිබෙනවා තමයි. මේ බලතල ලැබුනේ කොහෙන්ද? පන්සලේ පිං කැටයට අත තබන්න නීති තිබුණාට පල්ලියේ කොවිලේ ආදායමට අත තබන්න බලයක් කොහෙන්ද? කොහොමද මේ බලතල ලැබෙන්නේ? අපි දන්නවා හැමදාම අපේ රටේ නිදහස් අරගලයට නායකත්වය දුන්නේ අපේ ස්වාමීන් වහන්සේලා. ඒ වගේම නිදහස් අරගලයේ මූලස්ථාන හා සටන් කඳවුරු වුනේ පන්සල.
එදා ඉංග්‍රිසි ආණ්ඩුවට විරුද්ධව මව්බිමේ නිදහස පතා සටන් කළේ පන්සල මූලස්ථානය කර ගෙනයි. 1818 නිදහස් අරගලයට නායකත්වය දුන්නේ වීර කැප්පෙටිපොල නෙමෙයි වාරියපොල සුමංගල හාමුදුරුවෝ. උන්වහන්සේගේ නායකත්වයෙන් තමයි ඔය සටන්කාමීන් එකතු වුනේ. 1848 නිදහස් සටනට නායකත්වය දුන්නේ වීර පුරන් අප්පු නෙවෙයි, කුඩාපොල හාමුදුරුවෝ. මේ නිසා පන්සල් පාලනය කරන්න හාමුදුරුවන් මර්දනය කරන්න සුද්දන්ගේ ආණ්ඩුවට ඕනෑ වුණා. අන්න ඒකට තමයි විහාර හා දේවාල ගම් ආඥා පනත කියන නීතිය ගෙනාවේ. ඒකයි පල්ලියට කෝවිලට නැති නීතියක් පන්සලට තිබෙන්නේ. මේ නීතිය මත තමයි අපේ කොමසාරිස් තුමන්ලා ආණ්ඩුව දැන් මේ පන්සල මර්දනය කරන්න පන්සලේ තොරතුරු ගන්න පිං කැටයට සීල් තබන්න කටයුතු කරමින් ඉන්නේ.
ලංකාව ඇත්තටම තව දුරටත් සුද්දාට යටත් නැති නම් මේ නීතිය දැන් අහෝසි කරලා දාන්න ඕනෑ. අඩුම ගණනේ බුදු දහමට ආණ්ඩුවට බලපෑම් කරන්න බැරි වෙන්න මේ නීතිය සංශෝධනය කරන්න ඕනෑ. නමුත් කළු සුදු මේ ආණ්ඩුව, සුද්දගේ නීතිය දැන් පාවිච්චි කරනවා මහා සංඝරත්නය මර්ධනය කරන්න. සුද්දා මොනතරම් පීඩාකාරී පාලනයක් අරගෙන ගියත් සුද්දාවත් පිං කැටයට අත තැබූවේ නෑ. පන්සලේ පිං කැටයටත් අත තියන මෙවැනි ආණ්ඩුවක් යටතේ විහාර හා දේවාල ගම් පනත පැවතීම අතිශ්‍යයින්ම බුද්ධාගමට තර්ජනයක්. ඒ නිසා මේ පනත එක්කෝ සුදුසු පරිදි සංශෝධනය වෙන්න ඕන නැතිනම් ආණ්ඩුවේ බලපෑම් නැවැත්තීමට අහෝසි වෙන්න ඕන.
ඒ වගේම පල්ලියේ පූජකතුමන්ට කෝවිලේ කුරුකල් තුමන්ට අපි දැනුම් දෙනවා, මේ ඔබේ ආගමික සිද්ධස්ථානයටත් අත තැබීමේ පලවෙනි පියවරයි. දැන්මම පන්සල වටා එකතු වෙන්න. නැතිනම් මේ වැඩ බැරි ආණ්ඩුව ඔබේ ආගමික සිද්ධස්ථානයේ දියුණුව සදහා දායකයින් බැති සිතින් පුදන මුදලත් ආණ්ඩුවට කොල්ල කෑමේ කටයුත්ත අනාගතයේ කරනවා." යැයි පවසා සිටියේය.