ශ්‍රී ලංකාව මේ වන විට අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙන බවත් මෙරට තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එසේම මත්ද්‍රව්‍ය භාවිතය මේ වන විට ඇතැම් ග්‍රාමීය ප්‍රදේශ දක්වාත් පැතිරී ගොස් අවසන් බවත් එය විශාල උවදුරක් බවත් ඔහු සඳහන් කළේය.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (27දා) පැවැති මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීම සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දින උත්සවය අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
“මාධ්‍ය ඇතුළු සියලුදෙනාගේ අවධානය වැඩි වශයෙන් යොමු වී තිබෙන්නේ සයිටම්, මුස්ලිම් ආගමික ස්ථානවලට පහරදීම්, ස්වභාවික ආපදා ආදී එදිනෙදා ගැටලුවලට පමණයි. මෙම මත්ද්‍රව්‍ය උවදුරේ බැරෑරුම්කම මාධ්‍යයෙන් සහ ජනතා මනසින් ඉවත් වී තිබෙනවා. එම නිසා රජයක් ලෙස අපට විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීම හා දැනුවත් කිරීම් වැඩි දියුණු කළ යුතු වෙනවා. ගත යුතු ප්‍රධානතම පියවර එයයි.
නීතිය ක්‍රියාත්මක කරන විට පොලීසිය ඇතුළුව නාවික හමුදාව, වෙරළ ආරක්ෂක බළකාය, ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය ආදී විවිධ අංශ ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධ අදාළ නීති වෙත අවධානය යොමු කරමින් අවශ්‍ය නව සංශෝධන සිදුකිරීමට දැන් අවශ්‍යව තිබෙනවා.
පළමුව පොලිස් මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ සේවක පිරිස් ප්‍රමාණය වැඩි කළ යුතුයි. මුළු රටේම මත්ද්‍රව්‍ය පාලනය කිරීමට දැනට සේවයේ යෙදී සිටින පිරිස ප්‍රමාණවත් නොවන බව මගේ මතයයි. මෙම සේවක සංඛ්‍යාව ඉහළ නංවන්නේ කෙසේදැයි මම සාගල රත්නායක ඇමැතිවරයාගෙන් විමසා සිටියා. ඔවුන් එකවර බඳවා ගත නොහැකියි. ඔවුන් සේවයට බඳවා ගත හැකි වන්නේ අවශ්‍ය මුදල් ලබාගෙන පුහුණු කිරීමෙන් අනතුරුවයි. මේ අතර අවශ්‍ය ප්රතිසංවිධාන කටයුතු ඉක්මනින් සිදු කළ යුතුයි. ඒ සම්බන්ධ වාර්තා අමාත්‍යවරයාගෙනුත්, පොලිස්පතිවරයාගෙනුත් මම ඉල්ලා තිබෙනවා. එම කටයුතු සිදුකිරීමෙන් පසු මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ පොලිස් සේවය ශක්තිමත් වෙනවා.
ඉන් අනතුරුව අවධානය යොමු කළ යුතු තවත් ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. ඉන් පළමු වැන්න පිටරටින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමයි. දෙවැන්න ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය හා බෙදාහැරීම වැළැක්වීමයි”