කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීමට උමං මාර්ග 03 ක් ඉදිකිරීමට රජය තීරණය කර ඇති බවත් එයින් එක් උමං මාර්ගයක වැඩ අවසන් බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. දික් ඕවිට, ගංවතුර පාලන දියදොර ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"2016 ගංවතුරෙන් පසුව අගෝස්තු මාසයේදී විධිමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා කැලණි ගඟේ, අත්තනගලු ඔයේ ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කරන්න. එය කැබිනට් මණ්ඩලය පිළිගත්තා. අවාසනාවකට මුදල් අමාත්‍යාංශයෙන් අපට අරමුදල් සම්පාදනය වුණේ නැහැ.
අපි මෙම වසරේ අරමුදල් සම්පාදනය කරගෙන ඒ වැඩපිළිවෙළ ආරම්භ කළා. එහි ප්‍රධාන අංගයක් තමයි මේ දික් ඕවිට දියදොර. මේ මගින් අපි බලාපොරොත්තු වෙනවා, ගංවතුර ආවහම මෝය කපමින් ගංවතුර බැහැර කිරීමටත්, ගංවතුර බැස ගියහම මෝය ගොඩකිරීමටත් තිත තබා මෙම වසරේදීම ස්ථිර සාර විසඳුමක් ලබාදෙන්න.
ඒ වගේම කැලණිය ප්‍රදේශයේ වසරේදීම ආරම්භ කරනවා ජලය පොම්ප කරන වැඩපිළිවෙළක්. ඒ අනුව පෑලියගොඩ ප්‍රදේශයේ අපතේ ගිහින් තිබෙන අක්කර 200 කට ආසන්න පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විධිමත්ව ගොඩනගාගැනීමට අපට හැකිවෙනවා. එසේම කඩුවෙල ප්‍රදේශය ජලයෙන් යටවීම වැළැක්වීමට අඹතලේ පොම්පාගාරයක් මෙම වසරේදීම ඉදිකරනවා.
අඹතලේ බැම්ම ශක්තිමත් කිරීම මගින් මුල්ලේරියාව, කොළොන්නාව ප්‍රදේශ බේරාගැනීමට කටයුතු කරනවා. එසේම නාගලගන්වීදියේ හරහා දැනට තිබෙන බන්ට් එක වෙනුවට එතනත් ජල පොම්පාගාරයක් ඉදිකිරීමට බලාපොරොත්තුවෙනවා.
අපි ඉදිරියේදී ඇළමාර්ග මේ රටේ ප්‍රධාන ප්‍රවාහන පද්ධතියේ ක්‍රියාදාමයක් බවටත් පත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම කොළඹ ගංවතුර පාලනය කිරීමට උමං මාර්ග 3 ක් අපි ඉදිකරන්න යනවා. දැන් එක උමං මාර්ගයක වැඩ අපි අවසන් කළා. ඊළඟ උමං මාර්ග දෙකේ වැඩත් දැන් කෙරීගෙන යනවා. ඒ වගේම තුන්වැනි උමං මාර්ගය ඉදිරි කාලයේදී මට්ටක්කුලිය, මෝදර ප්‍රදේශයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙනවා.
අපි 2019-20 වෙනකොට මේ කොළඹ අවට ප්‍රදේශවල ගංවතුර ගැටලුව සැළකිය යුතු ප්‍රමාණයකින් අඩු කරන්න කටයුතු කරනවා. අපි රජයට යෝජනා කරනවා රට ඉදිරියට ගෙනයන්න නම් අනිවාර්යයෙන්ම කැලණි ගඟ පදනම් කරගත්ත බහුකාර්ය යෝජනාවලියක් රටට අවශ්‍යයි.
මහවැලියට වඩා මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන ක්‍රියාවලිය කැලණි ගඟ. කැලණි ගඟ කියන්නෙත් දකුණු ආසියාවේ ආර්ථික ජවන යන්ත්‍රයක් බවට පත්කරන්න පුළුවන් ඩෙල්ටාවක්. ඒ සඳහා විදිමත් වැඩපිළිවෙළක් අපි රජයට යෝජනා කර තිබෙනවා.
අපි ඉල්ලා සිටිනවා ඔය අධිවේගී මාර්ග හදන ක්‍රියාවලිය වෙනුවට මේ කැලණි ගඟ බහුකාර්ය යෝජනාවලිය ක්‍රියාත්මක කරලා රටේ ආර්ථික ජවන එන්ජිමට පණ පොවන තවත් ඇන්ජිමක් අපි මෙහි නිර්මාණය කරගමු කියලා. මොකද අපි හදපු අධිවේගී මාර්ගවලින් මේ ණය බර වැඩි වුණා මිසක් ප්‍රවාහන ගැටලුව විසඳුනෙත් නැහැ." යැයිද පවසා සිටියේය.