මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්රශස්ත ප්රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පළමු අදියර යටතේ පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව එම අමාත්‍යාංශය මේවන විට සැලසුම් කර ඇත.
නව රජයේ “සුවපත් රටක් උදෙසා” (HEALTHY SRI LANKA) නව්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වර්ෂය තුළ දී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන සියයක් ජනගත කිරීමට නියමිත ය.
ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශවිය හැකි ස්ථානයක ස්ථාපිත කරන මෙම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථානය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ලෙස නම් කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මකවන නියමු ව්‍යාපෘතිය යටතේ මෙම මස 26,27,29 සහ ඔක්තෝබර් 02 යන දිනයන්හි දී ගාල්ල, රත්නපුර, කළුතර, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක පහ ආවරණයවන පරිදි ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පහක් ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය.
සැප්තැම්බර් 26 වන දා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ, මාපලගම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමට නියමිත අතර මාපලගම, තල්ගස්වල, ගෝනලගොඩ සහ ගෝනලගොඩ නැගෙනහිර යන ග්‍රාමනිලධාරී වසම්වල ජීවත්වන පන්දහසකට ආසන්න ජනතාවකට මෙමගින් සුව සේවාවන් සැපයෙනු ඇත.
දෙවන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ ඇත්ඔය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය සැප්තැම්බර් 27 වන දා ආරම්භ කිරීමට සැලසුම්කර ඇත.මුද්ඳුව,ඇත්ඔය, මුද්ඳුව නැගෙනහිර සහ පහළ හකමුව යන ග්‍රාම නිලධාරී වසම්වල පන්දහසකට ආසන්න ජනගහණයකට මෙමගින් සේවාවන් සපයනු ඇත.
සැප්තැම්බර් 29 වන දා කළුතර දිස්ත්‍රික්කයේ, තල්පිටිය උතුර, දකුණ සහ නාරම්පිටිය යන ග්‍රාම සේවා වසම්වල දසදහසකට ආසන්න ජනගහණයකට සුවසෙත සැලසීමට ස්ථාපිත කරන ලද තල්පිටිය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය තෙවන මධ්‍යස්ථාන ලෙස ආරම්භ කිරීමට නියමිත ය.
ඔක්තෝබර් 02 වන දා මහනුවර දිස්ත්‍රික්කයේ, පොල්ගොල්ලවත්ත ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන සිව්වන මධ්‍යස්ථාන ලෙස ආරම්භ කරන අතර ගබඩාගම දකුණ, ගබඩාගම උතුර, ගුණ්නෑපාල සහ උඩ ගුණ්නෑපාල උතුර යන ග්‍රාමසේවා වසම්වල හත්දහසකට ආසන්න ජනතාවක් ආවරණයවන පරිදි එම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.
එදින ම (ඔක්තෝබර් 02) මාතලේ දිස්ත්‍රික්කයේ දංකන්ද, වෙරළුගස්තැන්න, දඹගොල්ල 1 යන ග්‍රාමසේවා වසම් තුනෙහි වෙසෙන පන්දහසකට ආසන්න ජනතාවක් ආවරණය වන පරිදි පස්වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ලෙස දංකන්ද ආරෝග්‍යා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය.
මෙරට ග්‍රාමීය ජනතාවට ප්‍රතිකාර පමණක් සිදුකරන මධ්‍යස්ථානයක් නොවන ආරෝග්‍යා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථානය තුළින් ජනතාවගේ සෞඛ්‍යට වගවන, වගකියන ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් රාශියක් ලබාදෙනු ඇත.
ඒ් යටතේ මෙහි බෝ නොවන රෝග සදහා ප්‍රතිකාර සහ උපදේශන සේවා, මූලික ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශන සේවා , පෝෂණ සත්කාර සහ උපදේශන සේවා, මධ්‍යසාර පුනරුත්ථාපන සේවා මෙන් ම උපදේශන, තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරාගත් රසායණාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා රාශියක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
මෙම සෑම මධ්‍යස්ථානයකට ම පවුලේ වෛද්‍යවරයෙක්, ප්‍රජා සෞඛ්‍ය හෙද නිලධාරිනියක් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායමක් සහ සම්බන්ධීකරණ නිලධාරියෙක් අනුයුක්ත කිරීමට නියමිත ය. එමෙන් ම ප්‍රජා සහභාගීත්වය සහ ප්‍රජා සංවිධාන මුලික කර ගනිමින් දියුණු කිරීමට අපේක්ෂිත මෙම මධ්‍යස්ථාන තුළින් එම ප්‍රදේශයටන්ට සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ආවේණික හා හදිසි තත්ත්වයන් ආශ්‍රිතව මතුවන සෞඛ්‍ය ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රමවේදයන් ද ස්ථාපිත කිරීමට යෝජිත ය. විශේෂයෙන් ම මහජනතාව සෞඛ්‍ය පිළිබඳව සවිබල ගැන්වීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඒ ඒ ප්‍රදේශවල දේශපාලන, ප්‍රජා සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නියමු ව්‍යාපෘතියේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පහ ජනතා අයිතියට පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
