“අස්වැසුම” අභියාචනා ජූලි 10ට පෙර දෙන්න
ප්‍රසිද්ධියට පත් කර ඇති නාම ලේඛනය කිසිසේත්ම අවසන් නාම ලේඛනය නොවෙයි -මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.
විවිධ දේශපාලන කණ්ඩායම්වල බලපෑම්වලට හසු නොවී “අස්වැසුම” ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නැති සියලු අයදුම්කරුවන් ජූලි 10වනදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙසත්, අභියාචනා කාල සීමාව අවසන් වීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ “අස්වැසුම” සමාජ සුබසාධක ප්රතිලාභ ලබාදීමේ වැඩසටහන පිළිබඳ අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
ආර්ථික සවියක් අවැසි පුද්ගලයන්ට සහාය වීමට ආරම්භ කළ අස්වැසුම සුබසාධක ප්රතිලාභ ලබාදීමේ වැඩසටහන පිළිබඳ ඇතැම් පාර්ශ්වයන් සමාජය තුළ ගෙන යන වැරදි ප්‍රචාර හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය මතුව ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ප්‍රසිද්ධියට පත් කර ඇති නාම ලේඛනය කිසිසේත්ම අවසන් ලේඛනය නොවන බව ද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා
අපට පසුගිය කාලයේ රටක් ලෙස විශාල ආර්ථික පසුබෑමකට මුහුණ දීමට සිදු වුණා. එම තත්ත්වයෙන් රට යළි ගොඩගැනීමේ ප්‍රධාන අංගයක් ලෙස දිළිඳු ජන කොටස් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් “අස්වැසුම” සමාජ සුබසාධක ප්රතිලාභ වැඩසටහන ආරම්භ කළා.
සාමාන්‍යයෙන් අපේ රටේ මෙතෙක් පැවතුණේ යම් සමාජ සුබසාධක වැඩසටහනකට ඇතුළත්වන පුද්ගලයන් එතැනින් සවිබල ගැන්වී, ආර්ථිකය සවිමත් කර ගන්නවා වෙනුවට සදාකල්ම එම සහන මත යැපීමේ ක්‍රමවේදයක්. නමුත් මෙම වැඩසටහන එතැනින් එහාට ගිය වැඩසටහනක් බව කිවයුතුයි.
එහිදී 2001 අංක 24 දරන සුබසාධක ප්රතිලාභ පනත ප්‍රකාරව අදාළ සුදුස්සන් තෝරා ගැනීම සිදු කෙරුණා. මෙම සුදුස්සන් තෝරා ගැනීම ක්ෂේත්‍ර 06ක් සහ ඊට අදාළ දර්ශක යටතේ තමයි සිදු වුණේ. ඒ අනුව සුදුසුකම් ලාභීන්ගේ ලේඛනයක් මේ වන විට කෙටුම්පත් කර තිබෙනවා. එය කිසිසේත්ම අවසාන නාම ලේඛනය නොවන බව අවධාරණය කළ යුතුයි.
මෙම ප්‍රතිලාභය හිමි විය යුතු, එහෙත් දැනට ප්‍රකාශයට පත් කර ඇති නාම ලේඛනයට නම ඇතුළත් නොවූ යම් පුද්ගලයෙක් හෝ පවුලක් සිටී නම් ලබා දී ඇති අභියාචනා කාලසීමාව තුළ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත තම අභියාචනා භාරදෙන ලෙස මම ඉල්ලා සිටිනවා. එසේම නුසුදුස්සෙකුගේ නම ඊට ඇතුළත් වී ඇත්නම් ඒ සම්බන්ධව ද විමසීම් සිදු කළ හැකියි.
විවිධ ප්‍රචාර හෝ පුද්ගල බලපෑම් මත කලබලයට පත් නොවන ලෙසත්, ඇතැම් දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතා සඳහා කෙරෙන උද්ඝෝෂණ ක්‍රියාමාර්ග සඳහා එක් නොවන ලෙසත් ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා. ඒ වගේම රජය දැනුම් දී ඇති ක්‍රමවේදය සමඟ ඊට අනුගතව කටයුතු කරන ලෙසත් සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් අභියාචනා කාලය අවසන් වීමෙන් පසු අස්වැසුම සමාජ සුබසාධක ප්රතිලාභ ලබාදීමේ අවසන් නාම ලේඛනය සකස් කිරීමට අපි අපේක්ෂා කරනවා. එහිදී කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපට උපදෙස් දී තිබෙනවා.
මේ අතර වකුගඩු දීමනා, ආබාධිත දීමනා සහ වැඩිහිටි දීමනා ලබන ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ද ඉදිරියේ දී නිකුත් කිරීමට අපේක්ෂා කරනවා.

popular news
-
W. M anulawathi Wednesday, 28 June 2023 03:30 PM
Mata aswesumata nama athulathkaradenna
Reply : 0 0
කුමාරසිංහ පතිරණ ගේ ජයසිංහ Tuesday, 01 August 2023 02:23 AM
මම කුලියට වැඩ කරන්න මට ඒම මුදල වන දවසට රුපියල් 1500 යි මට මදි එම මුදල මගේ දරුවයි බිරිඳ යි මවයි ජිවිත කරන්න මම ඉන්නේ මහ වැලි ඉඩමක මම කියන්නේ රාජ්‍යන් දෙන සන්ධානය දෙන බවට කරෑණිව ඉල්ලා සිටිනේ මිට විශ්ව කුමාරසිංහ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

